නික්මයාම 25:31-40

නික්මයාම 25:31-40 NRSV

“තවද, නුඹ තනි රත්රන් පහන් රුකක් සෑදිය යුතු ය. එහි අඩිය ද කඳ ද තැළූ රනින් තැනිය යුතු වේ. එහි මල් ද මල් කැකුළු ද මල් පෙති ද ඊට පෑස්සු එක වස්තුවක් විය යුතු ය. පහන් රුකේ එක පැත්තක අතු තුනක් ද අනික් පැත්තේ අතු තුනක් ද බැගින් එහි පැතිවලින් අතු හයක් විහිදී යා යුතු ය. එක් අත්තක කොට්ටම්බා වැනි මල් තුනක් ද මල් කැකුළු හා මල් පෙති ද අනික් පැත්තේ කොට්ටම්බා වැනි මල් තුනක් ද මල් කැකුළු හා මල් පෙති ද බැගින් පහන් රුකින් විහිදෙන අතු හයේ ම එලෙස ම විය යුතු ය. පහන් රුකෙහි ද කොට්ටම්බා වැනි මල් හතරක් ද ඒවායේ මල් කැකුළු හා මල් පෙති ද විය යුතු ය. පහන් රුකෙහි අතු දෙකක් යට එක මල් කැකුළක් ද තවත් අතු දෙකක් යට එක මල් කැකුළක් ද අනික් අතු දෙක යට මල් කැකුළක් ද බැගින් ඉන් විහිදී යන අතු හයේ ම එසේ විය යුතු ය. මල් කැකුළු සහ අතු පහන් රුක සමඟ ඒකාබද්ධ ව තිබිය යුතු යි. සියල්ල ම තැළූ තනි රනින් කළ කර්මාන්තයක් විය යුතු ය. “නුඹ ද පහන් රුක සඳහා පහන් හතක් සාදා, ඒවායේ එළිය ඉදිරියට වැටෙන සේ පහන්වල ආලෝකය සකස් කළ යුතු ය. පහන් කතුරු ද ඒවායේ තැටි ද රනින් විය යුතු ය. පහන් රුක සහ සියලු බඳුන් තැනීම සඳහා තනි රන් කිලෝග්‍රෑම් තිස්පහක් පාවිච්චි කළ යුතු ය. කන්දේ දී නුඹට පෙන්වූ සැලැස්ම අනුව මේවා සෑදීමට වග බලාගත යුතු ය.”