නික්මයාම 13:1-14

නික්මයාම 13:1-14 NRSV

සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “ඉශ්රායෙල් ජනයා අතර මවු කුසෙන් බිහි වන සියලු කුලුඳුලන් මට කැප කරන්න; මනුෂ්‍යයන් අතර වේ වා, මෘගයන් අතර වේ වා, එවැන්නන් මට අයිති ය”යි වදාළ සේක. මෝසෙස් සෙනඟට කතා කොට මෙසේ කී ය: “ඔබ, වහල්කමේ නිවාසය වූ මිසරයෙන් පිටතට පැමිණි මේ දවස සිහි කරන්න. මන්ද, සමිඳාණන් වහන්සේ සිය බාහු බලයෙන් ඔබ එතැනින් පිටතට ගෙනා හෙයිනි. එබැවින් ඔබ මුහුන් රොටි නො කෑ යුතු ය. ඔබ ආබිබ් නම් මාසයේ මේ දවසෙහි මිසරයෙන් නික්ම ආවහු ය. තවද, සමිඳාණන් වහන්සේ ඔබට දෙන පිණිස ඔබේ පියවරුන්ට දිවුරුම් දුන්, කිරෙන් හා මී පැණියෙන් ඉතිරෙන දේශයක් වන කානානිවරුන්ගේ ද හිත්තීවරුන්ගේ සහ අමෝරිවරුන්ගේ ද හිවීවරුන්ගේ සහ ජෙබුසිවරුන්ගේ ද දේශයට උන් වහන්සේ ඔබ පැමිණෙවූ කල මේ මාසයේ දී මේ පිළිවෙත පවත්වන්න. දවස් හතක් තුළ ඔබ නුමුහුන් රොටි අනුභව කළ පසු හත් වන දින සමිඳාණන් වහන්සේට මංගල්‍යයක් පැවැත්විය යුතු ය. දවස් හතක් ම නුමුහුන් රොටි අනුභව කළ යුතු ය. ඔබ ළඟ මුහුන් රොටි නොතිබිය යුතු ය. තවද, මුළු දේශයෙහි ම පවා මුහුන් නොතිබිය යුතු ය. ඇරත්, ‘මා මෙසේ කරන්නේ, මා මිසර දේශයෙන් පිටතට පැමිණි විට සමිඳාණන් වහන්සේ මට ඉටු කර දුන් දේ නිසා යැ’යි ඔබ ඒ දවසේ දී ඔබේ පුතු හට විස්තර කළ යුතු ය. තවද, සමිඳාණන් වහන්සේගේ මේ නීතිය ගැන නිතර ම කතා කරන පිණිස, මේ පිළිවෙත ඔබට, ඔබ අත ලකුණක් මෙන් ද, නළල මත සිහි වීමේ ලකුණක් මෙන් ද විය යුතු ය. මන්ද, සමිඳාණන් වහන්සේ සිය බාහු බලය පාමින් ඔබ මිසරයෙන් පිටත ගෙනා සේක. එබැවින් මේ නියෝගය වසරින් වසර නියමිත කාලයෙහි ඔබ පැවැත්විය යුතු ය.” “සමිඳාණන් වහන්සේ ඔබටත්, ඔබේ පියවරුන්ටත් දිවුරුම් දුන් පරිදි කානානිවරුන්ගේ දේශයට ඔබ පමුණුවා, එය ඔබට දුන් කල, සියලු කුලුඳුල් පිරිමින් සමිඳාණන් වහන්සේට කැප කළ යුතු ය. ඔබේ මෘගයන්ගේ කුලුඳුල් පිරිමි පැටියන් සියල්ලන් ම උන් වහන්සේට අයිති ය. තවද, කොටළුවන්ගේ සියලු කුලුඳුලන් බැටළු පැටවෙකු බැගින් දී මුදාගත යුතු ය. ඔබ ඌ මුදා නොගන්නෙහි නම් උගේ බෙල්ල කැඩිය යුතු ය. ඔබ ජනයා අතර සියලු කුලුඳුලන් ද මුදාගත යුතු ය. ‘මේ කුමක් ද’ කියා මතු දවස ඔබේ පුත්‍රයා ඔබෙන් අසන විට ඔබ ද ඔහුට කතා කොට, ‘සමිඳාණන් වහන්සේ සිය බාහු බලය පාමින් වහල්කමේ නිවාසය වන මිසරයෙන් අප පිටතට ගෙනා සේක.