එස්තර් 9:23-32

එස්තර් 9:23-32 NRSV

එබැවින් ඔවුන් කරන්නට පටන්ගත් එම චාරිත්‍රය මොර්දෙකයි ඔවුන්ට ලියා එවූ අන්දමට ජුදෙව්වරු ඉන් පසුවත් කරන්නට එකඟ වූ හ. ජුදෙව්වරුන්ගේ එදිරිකාරයා වූ ආගග් ජාතික හම්මෙදාතාගේ පුත් හාමාන් ජුදෙව්වරුන් නැති කිරීමට ඔවුන්ට විරුද්ධ ව යෝජනා කර විනාශ කරන්නට පූර් නම් පස ඇට දැමුවේ ය. එහෙත්, ඒ බව රජුට සැළ වූ කල, එස්තර්ගේ ඉල්ලීම පරිදි රජතුමා හාමාන් විසින් ජුදෙව්වරුන්ට විරුද්ධ ව කරන ලද නපුරු යෝජනාව ඔහුට ම විරුද්ධ ව හැරෙන හැටියටත්, ඔහු සහ ඔහුගේ පුත්‍රයන් එල්ලුම් ගසේ එල්ලා තබන හැටියටත් අණ කර ලියා යැව්වේ ය. එබැවින් පූර් යන නාමය අනුව ඒ දවස්වලට පූරීම් යන නම තබන ලදී. එබැවින්, මේ හසුනේ ලියා තිබුණ දේ නිසා ද තමන් දුටු දේ නිසා ද තමන්ට සිද්ධ වූ දේ නිසා ද ජුදෙව්වරු නියමිත විධියටත්, නියම කාලයටත් වසරක් පාසා වසරක් නොවරදවා ඒ දවස් දෙක උත්සව දවස් ලෙස පැවැත්වීමේ වගකීම තමන් උදෙසා ද මතු පරම්පරාවන් උදෙසා ද තමන්ට එකතු වන අය උදෙසා ද භාරගන්නට තීරණය කරගත්හ. පරපුරෙන් පරපුරට හැම පවුලකට ම, හැම ප්‍රදේශයකට ම, හැම නගරයකට ම ජුදෙව්වරුන් විසින් පූරීම් දවස් පැවැත්විය යුතු බවත්, මතු පරම්පරාවල දී එය අමතක නොකළ යුතු බවත් තීරණය කරගන්නා ලදී. අබිහයිල්ගේ දුව වූ එස්තර් රැජින මොර්දෙකයි නම් ජුදෙව් ජාතිකයා සමඟ පූරීම් උත්සවය සම්බන්ධයෙන් ලියා දුන් පූර්ණ බලය මෙම දෙ වන ලියුමෙන් ස්ථීර කළා ය. අහෂ්වේරොෂ්ගේ රාජ්‍යයේ ප්‍රදේශ එකසිය විසි හතේ සිටි සියලු ජුදෙව්වරුන්ට සාමයත්, ආරක්ෂාවත් පතමින් ලියුම් යවන ලදී. ඒ ලියුම් මඟින්, ජුදෙව් ජාතික මොර්දෙකයි නියම කළ පරිදි මේ පූරීම් උත්සව දවස් නියමිත කාලයට පැවැත්වීම අනිවාර්ය කටයුත්තක් කරන ලදී. ඔවුන්ටත්, ඔවුන්ගේ පරපුරටත් උපවාස හා ශෝකවීම් පිළිබඳ නියමිත නීති රීති තිබුණ ලෙස ම මෙම නියෝග ද පණවන ලදී. පූරීම් උත්සව දවස් පිළිබඳ නීති රීති එස්තර්ගේ මේ ආඥාවෙන් ස්ථිර කරන ලදී. එය වාර්තාගත කර ඇත.

මෙයට අදාළ වීඩියෝ

එස්තර් 9:23-32 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය