ධර්මදේශකයා 5:10-20

ධර්මදේශකයා 5:10-20 NRSV

ධනසම්පතට ඇලුම් වන්නා ධනසම්පතින් වත්, වස්තුවට ඇලුම් වන්නා වස්තුවෙන් වත් තෘප්තියට නොපැමිණෙයි. මෙය ද නිසරු දෙයකි. වස්තුව වැඩි වන්න, වැඩි වන්න එයින් නඩත්තු කළ යුතු අය ද වැඩි වෙති. ධනවතාට ඇති එක ම ප්‍රයෝජනය නම්, තමා ධනවතෙකු බව දැකීම ය. කම්කරුවා ටිකක් කෑවත්, හුඟක් කෑවත් ඔහුට සුව සේ සැතපිය හැකි ය; එහෙත්, පොහොසතාට තමාගේ වස්තු සම්භාරය නිසා නින්දක් නැත. මේ මිනිස් ලොවෙහි මහා අසාධාරණ දෙයක් ඇත. එනම්, දුෂ්කර කාලයක දී ප්‍රයෝජනයට ගැනීමට මිනිසෙකු රැස්කර තබන වස්තුව යම් අභාග්‍යයකින් නැති වී, ඔහුගේ දූදරුවන්ට කිසිවක් නැති වී යාම ය. ඔහු මවු කුසෙන් මෙලොවට නික්ම ආ ලෙස ම කිසිත් නැති ව ලොවින් තුරන් වන්නේ ය. තමාගේ අතින් උපයාගත් කිසිවක් ඔහු ගෙනයන්නේ නැත. මෙය ද අයුක්තියකි; ඔහු ආ ලෙස ම ඔහු යන්නේ ය. සුළං රොදක් ඇල්ලීමට ඔහු ගන්න වෙහෙසින් ඔහුට ඇති ප්‍රයෝජනය කවරේ ද? ඔහුගේ ජීවිතයේ සියලු දවස්වල ඔහුට අන්ධකාරය හා දුක ඇත. දැඩි සිත් වේදනාව හා කෝපය ඇත. මට අවබෝධ වූ එක දෙයක් තිබේ. එනම්, දෙවියන් වහන්සේ මිනිසෙකුට දෙන ජීවිතයේ සියලු දවස්වල මිහි පිට ඔහුගේ සියලු වැඩකටයුතුවලින් උපයාගත් දෙයින් ඔහු සෑහීමට පැමිණ, කා බී විනෝද වීම ය. ඔහුගේ ඉරණම එය වේ. තවද, දෙවියන් වහන්සේ මනුෂ්‍යයෙකුට සැප සම්පත් දී, ඒවා භුක්ති විඳින්නටත්, තමාගේ කොටස රැගෙන එයින් ප්‍රීතිවන්නටත් සලසා තිබේ නම්, ඔහු ඒ ගැන කෘතඥා විය යුතු ය. එය දෙවියන් වහන්සේගෙන් එන දීමනාවකි. මන්ද, දෙවියන් වහන්සේ ඔහුට ප්‍රීතිය දී ඇති බැවින්, කෙටි ජීවිතයක් ගැන ඔහුට කරදරයක් නැත.