ද්විතීය නීති සංග්‍රහය 28:2-13

ද්විතීය නීති සංග්‍රහය 28:2-13 NRSV

උන් වහන්සේගේ හඬට කීකරු වන්නහු නම්, පහත දැක්වෙන ආශීර්වාද සියල්ල ඔබ පිට පැමිණ ඔබ සමඟ වන්නේ ය. “ඔබේ නගරයේ දී ඔබ ආශීර්වාද ලද්දෝ වන්නහු ය. ඔබේ කෙත්වතුවල දී ඔබ ආශීර්වාද ලද්දෝ වන්නහු ය. “ඔබේ දරුසම්පතට ද භවභෝගසම්පතට ද ගවයන්ගේ සහ එළු බැටළුවන්ගේ බෝ වීමට ද ආශීර්වාද ලැබෙන්නේ ය. “ඔබේ පැසට ද පිටි අනන බඳුනට ද ආශීර්වාද ලැබෙන්නේ ය. “ඔබ ඇතුළට එන විට ද පිටතට යන විට ද උන් වහන්සේ ඔබට ආශීර්වාද කරන සේක. “ඔබට විරුද්ධ ව නැඟිටින ඔබේ සතුරන්, ඔබ ඉදිරියෙහි පරාජය වීමට සමිඳාණන් වහන්සේ සලසන සේක. ඔව්හු ඔබට විරුද්ධ ව එක මඟකින් අවුත් හත් මඟකින් ඔබෙන් පලා යන්නෝ ය. “ඔබේ ගබඩාවලට ද ඔබේ සියලු වැඩකටයුතුවලට ද සමිඳාණන් වහන්සේ ආශීර්වාද කරන සේක. දෙවි සමිඳාණන් වහන්සේ ඔබට දෙන දේශයෙහි ඔබට ආශීර්වාද කරන සේක. “ඔබ උන් වහන්සේගේ ආඥා පිළිපැද දෙවි මඟ යන්නහු නම්, දෙවි සමිඳාණන් වහන්සේ දිවුළ ප්‍රකාර ඔබ උන් වහන්සේට කැප වූ සෙනඟක් කරගන්නා සේක. උන් වහන්සේගේ නාමය ඔබ දරන බව දුටු විට, මිහි පිට සියලු ජාතීහු ඔබට බිය වන්නෝ ය. සමිඳාණන් වහන්සේ ඔබට දෙනු පිණිස ඔබේ පියවරුන්ට දිවුළ දේශයේ දී උන් වහන්සේ ඔබට දරුසම්පත ද ගවසම්පත ද භවහෝගසම්පත ද බහුල ව දානය කරන සේක. උන් වහන්සේ තම ඉසුරු බර අහස් ගබඩා විවෘත කොට, නිසි කලට කෙත්වතුවලට වැසි වස්වන සේක. ඔබ කරන වැඩකටයුතු සියල්ලට ආශීර්වාද කරන සේක. ඔබ බොහෝ ජාතීන්ට ණයට දෙන්නහු ය; ණයට ඉල්ලා නොගන්නහු ය. මා අද දින ඔබට අණ කරන දෙවි සමිඳාණන් වහන්සේගේ ආඥාවලට කීකරු වී, ඔබ ඒවා පිළිපදින්නහු නම්, සමිඳාණන් වහන්සේ ඔබ අන්තිමයන් නොකොට, ප්‍රධානීන් කරන සේක; පහත් නොකොට උසස් කරන සේක.