ද්විතීය නීති සංග්‍රහය 11:8-24
ද්විතීය නීති සංග්‍රහය 11:8-24 NRSV
“එබැවින් මා ඔබට අද දින නියම කරන සියලු අණපණත් ඔබ පිළිපැදිය යුතු ය. එසේ කළොත්, ඔබ ශක්තිමත් වී, හිමි කරගන්නට යන දේශයට ඇතුළු වී එය අයිති කරගනු ඇත. සමිඳාණන් වහන්සේ ඔබේ පියවරුන්ටත්, ඔවුන්ගේ පෙළපතටත් දෙන්නට පොරොන්දු වූ කිරෙන් සහ මී පැණියෙන් ඉතිරෙන ඒ දේශයෙහි ඔබට චිරාත් කාලයක් ජීවත් වීමට හැකි වනු ඇත. ඔබ අයිති කරගන්නට යන දේශය ඔබ නික්ම පැමිණි මිසර දේශය මෙන් නොවේ. මිසරයේ නම් වැපුරුවායින් පසු, එළවළු වත්තකට මෙන් ජල රෝදයක් පෑගීමෙන් ජලය සැපයීම කළ යුතුව තිබුණි. එහෙත්, ඔබ අයිති කරගන්නට යන රට, අහසින් වහින වැහි වතුර උරා බොන කඳුවැටිවලින් හා නිම්නවලින් යුත් එකකි. එය ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ සලකන රටකි, අවුරුද්දේ මුල සිට අග දක්වා උන් වහන්සේගේ බැල්ම නිතර ම ඒ රට කෙරෙහි යොමු ව පවතී. “අද දින මා ඔබට නියම කරන අණපණත්වලට ඔබ උනන්දුවෙන් සවන් දී, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රේම කොට, ඔබේ මුළු හෘදයෙන් ද, ඔබේ මුළු ආත්මයෙන් ද උන් වහන්සේට වැඳුම්පිදුම් කරන්නහු නම්, ඔබේ දේශයට නියම කාලය වන සරත් කාලයේ දී සහ වසන්තයේ දී වැසි වස්වනු ඇත. එවිට ඔබට ඔබේ ධනධාන්‍ය ද මිදිපල ද තෙල් ද එකතු කරගත හැකි ය. ඔබේ ගවමහිෂයන් සඳහා කෙත්වල තණ වැවෙන්නට ද සලස්වනු ඇත. ඔබට කෑම කා තෘප්තිමත් වීමට හැකි වනු ඇත. එහෙත්, අන් මඟක ගොස්, අන් දෙවි දේවතාවන්ට වැඳුම්පිදුම් හා නමස්කාර කරන සේ නොරැවටෙන්නට වගබලාගන්න. ඔබ එසේ නොකළොත්, ඔබට විරුද්ධ ව සමිඳාණන් වහන්සේගේ උදහස ඇවිලෙනු ඇත. වැසි නොවස්නා පිණිස ද, පොළොවෙන් පලදාව ඇති නොවන පිණිස ද උන් වහන්සේ අහසේ වැහි කවුළු වසා දමන සේක. එවිට උන් වහන්සේ ඔබට දෙන සාර භූමියෙහි ඔබ විගස මියයනු ඇත. “එබැවින් ඔබ හැම මාගේ මේ වචන ඔබේ හදවතෙහි ද සිතෙහි ද තැන්පත් කරගත යුතු ය. ඔබේ අත්වල ලකුණක් මෙන් ද ඔබගේ නළල මත පටි මෙන් ද ඒවා බැඳගත යුතු ය. ඒවා ඔබේ දරුදැරියන්ට ඉගැන්විය යුතු ය. ඔබ ගෙදර සිටින විට ද, පාරේ යන එන විට ද, සැතපෙන විට හා අවදි වන විට ද ඒවා ගැන කතා කළ යුතු ය. ඒවා ඔබේ ගෙදර උළුවහුවල ද දොරටුවේ ද සටහන් කළ යුතු ය. එසේ කළොත්, සමිඳාණන් වහන්සේ ඔබේ පියවරුන්ට දෙන්නට පොරොන්දු වූ දේශයෙහි ඔබේ ආයු කාලයත් ඔබේ දරුදැරියන්ගේ ආයු කාලයත් මිහි පිට ඉර හඳ පවතින තාක් දික් වන්නේ ය. “මා ඔබට නියම කරන මේ සියලු අණපණත් ඔබ උනන්දුවෙන් ආරක්ෂා කොට, ඒවා පිළිපදිමින්, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රේමය දක්වා උන් වහන්සේගේ සියලු මාර්ගවල යමින්, උන් වහන්සේට ඇලුම් ව සිටින්නහු නම්, උන් වහන්සේ ඔබට පෙරටුවෙන් මේ සියලු ජාතීන් පන්නාදමන සේක. ඔබ ද ඔබට වඩා ගණනින් විශාල, බලසම්පන්න ජාතීන්ට අයත් රටවල් අයිති කරගන්නහු ය. ඔබ පස් පාගන හැම තැනක් ම ඔබට අයිති වනු ඇත. පාළුකරයේ සිට ලෙබනොන් දේශය දක්වා ද, යුප්‍රටීස් ගංගාවේ සිට මධ්‍යධරණි මුහුද දක්වා ද දේශය ඔබේ වන්නේ ය.

