එකල හදිසියෙන් පහන් රුක ඉදිරිපිට රාජ මාලිගාවේ බිත්තියේ බදාම පිට ලියන මිනිස් අතක ඇඟිලි පෙනිණි. රජ තෙම ඒ අත දුටුවේ ය. එකල රජුගේ මුහුණ මැලවී සිත කැළඹුණේ ය. ඔහුගේ දෙකකුල් වාරු නැති ව දණහිස් එකට එක වැදුණේ ය. එකල රජ තෙම අනවිනකාරයන් ද කල්දිවරුන් ද පේන කියන්නන් ද කැඳවාගෙන එන ලෙස කෑ ගසා කී ය. රජ තෙම බබිලෝනියේ ශාස්ත්‍රවන්තයින් අමතා, “මේ ලියවිල්ල කියවා, එහි අර්ථය මට පෙන්වා දෙන කවුරු හෝ වේවා, ඔහුට රත්නිල් වස්ත්‍රයක් අඳවා, ගෙල වටා රන් මාලයක් පළඳවා, රාජ්‍යයේ තුන් වන ආණ්ඩුකාරයා වශයෙන් ඔහු පත් කරනු ලබන්නේ ය”යි කී ය. එවිට රජුගේ සියලු ශාස්ත්‍රවන්තයෝ පැමිණියෝ ය. එහෙත්, ඒ ලියවිල්ල කියවන්නට වත්, එහි අර්ථය රජුට පහදා දෙන්නට වත් ඔවුන්ට නොහැකි විය. එවිට බෙල්ෂෙසර් රජ අතිශයින් කැළඹී, මුහුණ මැලවී සිටියේ ය. ඔහුගේ උත්තමයෝ ද වියවුල් ව සිටියෝ ය. රජු සහ උත්තමයන් කතා කරමින් සිටිය දී බිසොව භෝජන ශාලාවට පැමිණ මෙසේ කීවා ය: “රජතුමා සදාකාලේට ම ජීවත් වේ වා! සිතුවිලිවලින් නොකැළඹී මුහුණ මැලවී නොසිටින්න. දේවාත්මානුභාවය ඇති මනුෂ්‍යයෙක් ඔබේ රාජ්‍යයේ සිටියි. ඔබේ පියාණන්ගේ කාලයේ දී මොහු පැහැදිලි කල්පනාව ද නුවණ ද දෙවියන්ගේ ප්‍රඥාවට සමාන ප්‍රඥාවක් ද ඇති කෙනෙකු ලෙස ප්‍රසිද්ධ ව සිටියේ ය. ඔබේ පියා වූ නෙබුකද්නෙශර්ගේ කාලයේ දී, ඔහු මන්ත්‍රකාරයන්ගේ ද අනවිනකාරයන්ගේ ද දෛවඥයන්ගේ ද පේන කියන්නන්ගේ ද ප්‍රධානියා වශයෙන් පත් කරන ලදී. රජු විසින් බෙල්ටෙෂෙසර් යන නම තබන ලද ඒ දානියෙල් උසස් කුශලතා ඇති, ස්වප්න තේරුම් කර දීමේත්, තේරවිලි විසඳීමේත්, ගැටපද පහදා දීමේත් ඥානය ඇති කෙනෙකු විය. දැන් ඔබ මේ දානියෙල් කැඳෙව්වොත්, ඔහු ඔය ලියවිල්ලේ අර්ථය පහදා දෙනු ඇතැ”යි කීවා ය.
දානියෙල් 5 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: දානියෙල් 5:5-12
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ