දානියෙල් 5:5-12

දානියෙල් 5:5-12 සිංහල කාලීන පරිවර්තනය (SCV)

හදිසියේ ම, මිනිස් අතක ඇඟිලි පෙනී, රජ මාලිගයේ පහන් රුක අසල බිත්තියේ හුණු බදාම මත යමක් ලීවේ ය. එම අතින් ලියන අයුරු රජු බලා සිටියේ ය. රජුගේ මුහුණ සුදුමැලි විය; ඔහුගේ සිතුවිලි ඔහු තැති ගැන්වී ය. ඔහුගේ දණහිස් එකටෙක වැදෙමින් ඔහුගේ දෙකකුල් වාරු නැති විය. එවිට රජු මොර ගසා කතා කරමින්, මන්තරකරුවන් ද කල්දිවරයින් හා නක්ෂත්‍රඥයින් ද කැඳවා, බබිලෝනියේ ප්‍රාඥයින්ට කතා කොට, “මේ ලියා ඇති දෑ කියවා, එහි අර්ථය මට කියා දිය හැකි තැනැත්තා රාජකීය දම් පැහැ ඇඳුමින් හඳවනු ලැබ, ගෙල වටා රන් දමක් පලඳවනු ලැබ, රාජ්‍යය පාලනයේ තුන්වැන්නා බවට පත් කෙරේ” යි පැවසී ය. එවිට රජුගේ සියලු ප්‍රාඥයින් පැමිණි නමුදු, ඒ ලියා ඇති දෑ කියවීමට හෝ එහි අර්ථය රජුට කියා දීමට ඔවුනට නො හැකි විය. එබැවින් බේල්ෂසර් රජ වඩ වඩා බය විය. ඔහුගේ මුහුණ වඩාත් සුදුමැලි විය. ඔහුගේ වංශවත්හු ද වියවුල් වූහ. රජුගේ හා ඔහුගේ වංශවතුන්ගේ කතා හඬ අසා, මවු බිසෝ තොමෝ උත්සව ශාලාවට ආවා ය. මව් බිසොව කතා කරමින්, “අහෝ රජතුමා සැම කල් දිනේවා! ඔබේ සිතුවිලිවලින් කැලඹෙන්නවත්, ඔතරම් සුදුමැලි වන්නවත් එපා. ශුද්ධ දෙවිවරුන්ගේ ආත්මයාණන් තමා තුළ ඇති මනුෂ්‍යයෙක් ඔබේ රාජ්‍යයේ සිටී. ඔබේ පියාණන්ගේ කාලයේ මොහු වෙත තීක්ෂණ බුද්ධියත්, දැන උගත්කමත්, දෙවිවරුන්ගේ බඳු ප්‍රඥාවත් ඇති වග දැන ගත්තා. ඔබේ පියාණන් වූ නෙබුකද්නෙසර් රජ, ඔබේ පියරජතුමා, ඉන්ද්‍රජාලිකයින්ගේ ද මන්ත්‍රකරුවන්ගේ ද කල්දිවරුන්ගේ ද නක්ෂත්‍රඥයින්ගේ ද ප්‍රධානියා කර, ඔහු පත් කළා. රජු විසින් බේල්ටෙෂසර් නමින් හැඳින් වූ මේ මනුෂ්‍යයා, දානියෙල් තියුණු මනසක්, දැනගැන්ම හා වැටහීම ඇත්තකු පමණක් නො ව, සිහින අරුත් පහදා දීමේ ද ප්‍රහේලිකාව බේරුම් කිරීමේ ද අසීරු ගැටලු විසඳීමේ ද සමතෙක්. දානියෙල් කැඳවන්න; මේ ලියා ඇති අකුරුවල අර්ථය ඔහු ඔබට කියා දේවි” යි කීවා ය.

දානියෙල් 5:5-12 Sinhala Revised Old Version (SROV)

එකෙණෙහිම මනුෂ්‍ය අතක ඇඟිලි පෙනී, පහන්රුක ඉදිරිපිට රාජ මාළිගාවේ භිත්තියේ බදාම පිට ලිවීය. රජතෙමේ ලියන අතේ කොටස දුටුවේය. එකල රජුගේ මුහුණේ පාට වෙනස්විය, ඔහු තමාගේ සිතිවිලිවලින් කැලඹුණේය; ඔහුගේ කටිසන්ධි බුරුල්වී, ඔහුගේ දණහිස් එකිනෙකට වැදුණේය. එවිට රජ අනවිනකාරයන්ද කල්දිවරුන්ද පේනකියන්නන්ද කැඳවාගෙන එන ලෙස මොරගසාකීය. රජතෙමේ බබිලෝනියේ ශාස්ත්‍රවන්තයන්ට කථාකොට: මේ ලියවිල්ල කියවා, එහි අර්ථය මට පෙන්වාදෙන කවුරුනුමුත්, රත්නිල් වස්ත්‍රයක් හඳවනු ලැබ, බෙල්ලේ රන්මාලයක්ද දමනු ලැබ, රාජ්‍යයේ තුන්වෙනි ආණ්ඩුකාරයාවන්නේයයි කීවේය. එකල රජුගේ සියලු ශාස්ත්‍රවන්තයෝ ඇතුල්වූහ. නුමුත් ඒ ලියවිල්ල කියවන්ටවත් එහි අර්ථය රජුට දන්වන්ටවත් ඔවුන්ට පුළුවන් නොවීය. එකල බේල්ෂශර් රජ ඉතා කැලඹී, ඔහුගේ මුහුණේ පාට වෙනස්වුණේය, ඔහුගේ උත්තමයොත් වියවුල්වූහ. රජුගේද ඔහුගේ උත්තමයන්ගේද වචන නිසා බිසව භෝජනශාලාවට ඇතුල්වී කථාකොට: රජ්ජුරුවෝ සදාකාලේටම ජීවත්වේවා; ඔබගේ සිතිවිලි ඔබ නොකලඹාවා, ඔබගේ මුහුණේ පාටද වෙනස් නොවේවා. ශුද්ධ දෙවිවරුන්ගේ ආත්මය ඇති මනුෂ්‍යයෙක් ඔබගේ රාජ්‍යයෙහි සිටියි; ඔබගේ පියාණන්ගේ දවස්වලදී ආලෝකයද නුවණද දෙවිවරුන්ගේ ප්‍රඥාවට සමාන ප්‍රඥාවද ඔහු තුළ සම්බවිය. ඔබගේ පියවූ නෙබුකද්නෙශර් රජ–ඔබගේ පිය රජ්ජුරුවෝ–ඔහු මන්ත්‍රකාරයන්ටද අනවිනකාරයන්ටද කල්දිවරුන්ටද පේනකියන්නන්ටද ප්‍රධානියා කළේය; මක්නිසාද උතුම් ආත්මයක්ද දැනගැන්මද ස්වප්න තේරුම්කරදීමෙත් තේරවිලි විසදීමෙත් ගැටපද පහදාදීමෙත් ඥානයද රජු විසින් බේල්ටෙෂශර්යයි නම් තැබූ ඒ දානියෙල් තුළ සම්බවිය. දැන් දානියෙල් කැඳෙවුවොත් ඔහු අර්ථය පෙන්වාදෙනවා ඇතැයි කීවාය.

දානියෙල් 5:5-12 Sinhala New Revised Version (NRSV)

එකල හදිසියෙන් පහන් රුක ඉදිරිපිට රාජ මාලිගාවේ බිත්තියේ බදාම පිට ලියන මිනිස් අතක ඇඟිලි පෙනිණි. රජ තෙම ඒ අත දුටුවේ ය. එකල රජුගේ මුහුණ මැලවී සිත කැළඹුණේ ය. ඔහුගේ දෙකකුල් වාරු නැති ව දණහිස් එකට එක වැදුණේ ය. එකල රජ තෙම අනවිනකාරයන් ද කල්දිවරුන් ද පේන කියන්නන් ද කැඳවාගෙන එන ලෙස කෑ ගසා කී ය. රජ තෙම බබිලෝනියේ ශාස්ත්‍රවන්තයින් අමතා, “මේ ලියවිල්ල කියවා, එහි අර්ථය මට පෙන්වා දෙන කවුරු හෝ වේවා, ඔහුට රත්නිල් වස්ත්‍රයක් අඳවා, ගෙල වටා රන් මාලයක් පළඳවා, රාජ්‍යයේ තුන් වන ආණ්ඩුකාරයා වශයෙන් ඔහු පත් කරනු ලබන්නේ ය”යි කී ය. එවිට රජුගේ සියලු ශාස්ත්‍රවන්තයෝ පැමිණියෝ ය. එහෙත්, ඒ ලියවිල්ල කියවන්නට වත්, එහි අර්ථය රජුට පහදා දෙන්නට වත් ඔවුන්ට නොහැකි විය. එවිට බෙල්ෂෙසර් රජ අතිශයින් කැළඹී, මුහුණ මැලවී සිටියේ ය. ඔහුගේ උත්තමයෝ ද වියවුල් ව සිටියෝ ය. රජු සහ උත්තමයන් කතා කරමින් සිටිය දී බිසොව භෝජන ශාලාවට පැමිණ මෙසේ කීවා ය: “රජතුමා සදාකාලේට ම ජීවත් වේ වා! සිතුවිලිවලින් නොකැළඹී මුහුණ මැලවී නොසිටින්න. දේවාත්මානුභාවය ඇති මනුෂ්‍යයෙක් ඔබේ රාජ්‍යයේ සිටියි. ඔබේ පියාණන්ගේ කාලයේ දී මොහු පැහැදිලි කල්පනාව ද නුවණ ද දෙවියන්ගේ ප්‍රඥාවට සමාන ප්‍රඥාවක් ද ඇති කෙනෙකු ලෙස ප්‍රසිද්ධ ව සිටියේ ය. ඔබේ පියා වූ නෙබුකද්නෙශර්ගේ කාලයේ දී, ඔහු මන්ත්‍රකාරයන්ගේ ද අනවිනකාරයන්ගේ ද දෛවඥයන්ගේ ද පේන කියන්නන්ගේ ද ප්‍රධානියා වශයෙන් පත් කරන ලදී. රජු විසින් බෙල්ටෙෂෙසර් යන නම තබන ලද ඒ දානියෙල් උසස් කුශලතා ඇති, ස්වප්න තේරුම් කර දීමේත්, තේරවිලි විසඳීමේත්, ගැටපද පහදා දීමේත් ඥානය ඇති කෙනෙකු විය. දැන් ඔබ මේ දානියෙල් කැඳෙව්වොත්, ඔහු ඔය ලියවිල්ලේ අර්ථය පහදා දෙනු ඇතැ”යි කීවා ය.

දානියෙල් 5:5-12 New International Version (NIV)

Suddenly the fingers of a human hand appeared and wrote on the plaster of the wall, near the lampstand in the royal palace. The king watched the hand as it wrote. His face turned pale and he was so frightened that his legs became weak and his knees were knocking. The king summoned the enchanters, astrologers and diviners. Then he said to these wise men of Babylon, “Whoever reads this writing and tells me what it means will be clothed in purple and have a gold chain placed around his neck, and he will be made the third highest ruler in the kingdom.” Then all the king’s wise men came in, but they could not read the writing or tell the king what it meant. So King Belshazzar became even more terrified and his face grew more pale. His nobles were baffled. The queen, hearing the voices of the king and his nobles, came into the banquet hall. “May the king live forever!” she said. “Don’t be alarmed! Don’t look so pale! There is a man in your kingdom who has the spirit of the holy gods in him. In the time of your father he was found to have insight and intelligence and wisdom like that of the gods. Your father, King Nebuchadnezzar, appointed him chief of the magicians, enchanters, astrologers and diviners. He did this because Daniel, whom the king called Belteshazzar, was found to have a keen mind and knowledge and understanding, and also the ability to interpret dreams, explain riddles and solve difficult problems. Call for Daniel, and he will tell you what the writing means.”