ඔබ ක්‍රිස්තුන් වහන්සේ සමඟ උත්ථාන කරනු ලැබූ බැවින්, දෙවියන් වහන්සේගේ දකුණු පස වැඩ හිඳින ක්‍රිස්තුන් වහන්සේ වැඩ සිටින තැන ඇති, ලොව්තුරු දේ ප්‍රාර්ථනා කරන්න. ලෞකික දේ කෙරෙහි නොව, ලොව්තුරු දේ කෙරෙහි ඔබේ සිත යොමු කරන්න. මන්ද, ඔබ මැරුණු බැවින් දැන් ඔබේ ජීවිතය ක්‍රිස්තුන් වහන්සේ සමඟ දෙවියන් වහන්සේ තුළ සැඟවී පවතියි. අපේ ජීවනය වන ක්‍රිස්තුන් වහන්සේ ප්‍රකාශ වන විට, ඔබත් උන් වහන්සේ සමඟ තේජසින් ප්‍රකාශ වනු ඇත.
එබැවින් කාමමිථ්‍යාචාරය, අපිරිසිදුකම, කාමරාගය, නපුරු තෘෂ්ණා සහ රූප වැඳීමක් වැනි තණ්හාව යන කාමුක දුසිරිත් නසාදමන්න. මේ දේ නිසා අකීකරු වන අය පිට දේව උදහස පැමිණෙනු ඇත. ඔබත් එක් කාලයක දී ඔවුන් මෙන් මේ දුසිරිත්වල ඇලීගැලී ජීවත් වූවහු ය.
එහෙත් දැන් ඔබ ඒ සියල්ල, එනම්, උදහස, කෝපය, කුඩුකේඩුකම, අපවාදය, අසභ්‍ය කතා මුලිනුපුටා දමන්න. එකිනෙකාට බොරු නොකියන්න. මන්ද ඔබ පරණ ස්වභාවය එහි දුසිරිත් සමඟ ඉවත ලා, අලුත් ස්වභාවයකින් සැරසී සිටින්නහු ය. දෙවියන් වහන්සේ පිළිබඳ සම්පූර්ණ දැනගැන්මට ඔබ පමුණුවන පිණිස, ඒ අලුත් ස්වභාවය එහි මැවුම්කාරයාණන්ගේ රූපය අනුව උන් වහන්සේ නිරන්තරයෙන් අලුත් කරන සේක. ඒ අලුත් ජීවිතයෙහි ග්‍රීක ජුදෙව් කියා වත්, චර්මඡේදිත අචර්මඡේදිත කියා වත්, ම්ලේච්ඡ ශිෂ්ට කියා වත්, දාස නිර්දාස කියා වත් භේදයක් නැත. ඇත්තේ සියල්ලන් තුළ, සියල්ල වන, ක්‍රිස්තුන් වහන්සේ පමණෙකි.
එබැවින් දෙවියන් වහන්සේගේ තෝරාගත්, සැදැහැවත්, ප්‍රේමවන්ත අය වශයෙන්, දයානුකම්පාවෙන් ද කරුණාවෙන් ද නිහතමානිකමෙන් ද මෘදුකමෙන් ද ඉවසිලිවන්තකමෙන් ද සැරසී සිටින්න. එකිනෙකා ගැන ඉවසමින් යමෙකුට විරුද්ධ ව පැමිණිල්ලක් ඇත්නම්, එකිනෙකාට කමා කරන්න. සමිඳාණන් වහන්සේ ඔබට කමා කළාක් මෙන් ඔබත් එකිනෙකාට කමා කළ යුතු ය. මේ සියල්ලට ඉහළින්, සියල්ල සම්පූර්ණ ලෙස ඒකාබද්ධ කරන ප්‍රේමයෙන් සැරසෙන්න.