ක්‍රියා 8:14-24

ක්‍රියා 8:14-24 NRSV

සමාරීයයන් දෙවියන් වහන්සේගේ වචනය පිළිගත් බව ජෙරුසලමේ සිටි ප්‍රේරිතවරයන්ට සැළ වූයෙන් ඔව්හු පේදුරු සහ ජොහන් ඔවුන් වෙතට යැවූ හ. ඔව්හු එහි ගොස් ඔවුන්ට ශුද්ධාත්මයාණන් ලැබෙන ලෙස යාච්ඤා කළහ. මන්ද, ඔවුන් ජේසුස් වහන්සේගේ නාමයට බව්තීස්ම-ස්නාපනය කරනු ලැබුවා මිස, ඒ වන තුරුත් ශුද්ධාත්මයාණන් ඔවුන්ගෙන් කිසිවෙකු කෙරෙහි පැමිණ තිබුණේ නැත. ප්‍රේරිතවරුන් ඔවුන් පිට අත් තැබූ කල, ඔවුන්ට ශුද්ධාත්මයාණන් ලැබිණි. ප්‍රේරිතවරුන්ගේ අත් තැබීම කරණකොටගෙන ශුද්ධාත්මය ලැබෙන බව දුටු සීමොන් ඔවුන්ට මුදල් දෙමින්, “යමෙකු පිට මම අත් තබම් ද, ඔහුට ශුද්ධාත්මයාණන් ලැබෙන පිණිස මේ බලය මටත් දෙන්නැ”යි කී ය. එහෙත් පේදුරු ඔහුට කතා කොට, “දෙවියන් වහන්සේගේ දීමනාව මුදලට ගත හැකි යයි ඔබ සිතූ බැවින්, ඔබේ මුදලත්, ඔබත් නැතිභංග වේ වා. මේ කාරණයෙහි කොටසක් වත් පංගුකාරකමක් වත් ඔබට නැත. මන්ද, දෙවියන් වහන්සේ ඉදිරියෙහි ඔබේ සිත අවංක නැත. එහෙයින් ඔබේ සිතේ අදහස ගැන ඔබට කමා කරනු ලබන්නේ දැ යි බලනු පිණිස ඒ දුෂ්ටකම ගැන පසුතැවී සිත හරවා ගෙන, සමිඳාණන් වහන්සේට යාච්ඤා කරන්න. මන්ද, ඔබ තික්තකමේ ගැඹුරට කිමිදී පාප බැමිවලින් වෙළී සිටින බව මට පෙනේ ය”යි කී ය. සීමොන් පිළිතුරු දෙමින්, “ඔබ කී දෙයින් කිසිවක් මට සිදුනොවන පිණිස, මා උදෙසා සමිඳාණන් වහන්සේට යාච්ඤා කරන්නැ”යි කී ය.