ක්‍රියා 8:14-24

ක්‍රියා 8:14-24 සිංහල කාලීන පරිවර්තනය (SCV)

සමාරියයන් දෙවියන්වහන්සේගේ වචනය පිළිගත් වග, යෙරුසලමේ අපෝස්තුලුවරුනට සැල වූ කල, ඔවුහු පේතෘස් හා යොහන් ඔවුන් වෙත පිටත් කළහ. එහි පැමිණි ඔවුහු ශුද්ධාත්මයාණන් ලැබෙන ලෙස ඔවුන් උදෙසා යාච්ඤා කළහ. මන්ද ඒ වන තුරු, ඒ කිසිවකු පිට ශුද්ධාත්මයාණන් පහළ වී තිබුණේ නැති බැවිනි. ඔවුන් යේසුස් ස්වාමින්වහන්සේගේ නාමයෙන් බව්තීස්ම ලැබ සිටියා පමණි. ඔවුහු ඔවුන් පිට අත් තැබූ කල්හි, ඔවුහු ශුද්ධාත්මයාණන් ලදහ. ඔවුන්ට ආත්මයාණන් දෙන ලද්දේ අපෝස්තුලුවරුන්ගේ අත් තැබීමෙන් බව දුටු සීමොන්, ඔවුන්ට මුදල් පාමින්, “මා යමකු පිට අත් තැබූ කල්හි ඔහුට ශුද්ධාත්මයාණන් ලැබෙන ලෙස මටත් ඔය බලය පවරන්නැ” යි ඉල්ලී ය. එවිට පේතෘස් පිළිතුරු දෙමින්, “දෙවියන්වහන්සේගේ දීමනාව මුදලට ගත හැකියයි සිතූ නිසා, නුඹත් සමඟ නුඹේ මුදල් විනාශ වේවා! මේ සම්බන්ධ කිසි අයිතියක් හෝ පංගුකාරකමක් නුඹට නැත. මන්ද ඔබේ හදවත දෙවියන්වහන්සේ ඉදිරියේ හරි නැත. එබැවින් ඔබේ ඔය දුෂ්ටකම ගැන පසුතැවිලි වී, ස්වාමින්වහන්සේට යාච්ඤා කරන්න. සමහර විට උන්වහන්සේ ඔබේ හදවතේ උපන් සිතිවිල්ලට කමා වනු ඇත. මන්ද ඔබ තදබල තික්තකමින් පිරී, පාපයට ගොදුරක් ව සිටිනු මට පෙනේ යැ” යි කීවේ ය. “ඔබ කී කිසිවක් මට සිදු නො වන පිණිස, මා උදෙසා ස්වාමින්වහන්සේට යාච්ඤා කරන්නැ” යි සීමොන් ඔවුන්ගෙන් ඉල්ලී ය.

ක්‍රියා 8:14-24 Sinhala Revised Old Version (SROV)

සමාරියයන් දෙවියන්වහන්සේගේ වචනය පිළිගත් බව යෙරුසලමේ සිටියාවූ ප්‍රේරිතයෝ අසා, පේතෘස් සහ යොහන් ඔවුන් ළඟට යැවුවෝය. ඔව්හු එහි ගොස් ඔවුන්ට ශුද්ධාත්මය ලැබෙන ලෙස ඔවුන් උදෙසා යාච්ඤාකළෝය. මක්නිසාද ඔවුන් ස්වාමිවූ යේසුස්වහන්සේගේ නාමයට බව්තීස්මකරනු ලැබුවා මිස, ශුද්ධාත්මය ඒ වන තුරු ඔවුන්ගෙන් කිසිවෙකු කෙරෙහි පැමිණී තිබුණේ නැත. ප්‍රේරිතයන් ඔවුන් කෙරෙහි අත් තැබූ කල, ඔවුන්ට ශුද්ධාත්මය ලැබුණේය. සීමොන්ද ප්‍රේරිතයන්ගේ අත් තැබීම කරණකොටගෙන ශුද්ධාත්මය ලැබෙන බව දැක, ඔවුන් වෙතට මුදල් ගෙනැවිත්: යමෙකු පිට මම අත් තබම්ද, ඔහුට ශුද්ධාත්මය ලැබෙන පිණිස මේ බලය මටත් දෙන්නැයි කීවේය. නුමුත් පේතෘස් ඔහුට කථාකොට: දෙවියන්වහන්සේගේ දීමනාව මුදලට ගන්ට නුඹ සිතූ බැවින් නුඹේ මිල නුඹ සමඟ විනාශවේවා. මේ කාරණයෙහි කොටසක්වත් පංගුකාර කමක්වත් නුඹට නැත. මක්නිසාද දෙවියන්වහන්සේ ඉදිරියෙහි නුඹේ සිත හරි නැත. ඒ නිසා නුඹේ සිතේ කල්පනාව නුඹට කමාකරනු ලැබේදෝ කියා බලන පිණිස, නුඹේ මේ දුෂ්ටකම ගැන පශ්චාත්තාපව, ස්වාමීන්වහන්සේට යාච්ඤාකරන්න. මක්නිසාද නුඹ තික්තකමේ පිතේද අයුතුකම නමැති බැම්මේද සිටින බව මට පෙනේයයි කීවේය. සීමොන් උත්තරදෙමින්: නුඹලා කීවාවූ දෙයින් කිසිවක් මා කරා නොපැමිණෙන පිණිස, මා උදෙසා ස්වාමීන්වහන්සේට යාච්ඤාකරන්නැයි කීවේය.

ක්‍රියා 8:14-24 Sinhala New Revised Version (NRSV)

සමාරීයයන් දෙවියන් වහන්සේගේ වචනය පිළිගත් බව ජෙරුසලමේ සිටි ප්‍රේරිතවරයන්ට සැළ වූයෙන් ඔව්හු පේදුරු සහ ජොහන් ඔවුන් වෙතට යැවූ හ. ඔව්හු එහි ගොස් ඔවුන්ට ශුද්ධාත්මයාණන් ලැබෙන ලෙස යාච්ඤා කළහ. මන්ද, ඔවුන් ජේසුස් වහන්සේගේ නාමයට බව්තීස්ම-ස්නාපනය කරනු ලැබුවා මිස, ඒ වන තුරුත් ශුද්ධාත්මයාණන් ඔවුන්ගෙන් කිසිවෙකු කෙරෙහි පැමිණ තිබුණේ නැත. ප්‍රේරිතවරුන් ඔවුන් පිට අත් තැබූ කල, ඔවුන්ට ශුද්ධාත්මයාණන් ලැබිණි. ප්‍රේරිතවරුන්ගේ අත් තැබීම කරණකොටගෙන ශුද්ධාත්මය ලැබෙන බව දුටු සීමොන් ඔවුන්ට මුදල් දෙමින්, “යමෙකු පිට මම අත් තබම් ද, ඔහුට ශුද්ධාත්මයාණන් ලැබෙන පිණිස මේ බලය මටත් දෙන්නැ”යි කී ය. එහෙත් පේදුරු ඔහුට කතා කොට, “දෙවියන් වහන්සේගේ දීමනාව මුදලට ගත හැකි යයි ඔබ සිතූ බැවින්, ඔබේ මුදලත්, ඔබත් නැතිභංග වේ වා. මේ කාරණයෙහි කොටසක් වත් පංගුකාරකමක් වත් ඔබට නැත. මන්ද, දෙවියන් වහන්සේ ඉදිරියෙහි ඔබේ සිත අවංක නැත. එහෙයින් ඔබේ සිතේ අදහස ගැන ඔබට කමා කරනු ලබන්නේ දැ යි බලනු පිණිස ඒ දුෂ්ටකම ගැන පසුතැවී සිත හරවා ගෙන, සමිඳාණන් වහන්සේට යාච්ඤා කරන්න. මන්ද, ඔබ තික්තකමේ ගැඹුරට කිමිදී පාප බැමිවලින් වෙළී සිටින බව මට පෙනේ ය”යි කී ය. සීමොන් පිළිතුරු දෙමින්, “ඔබ කී දෙයින් කිසිවක් මට සිදුනොවන පිණිස, මා උදෙසා සමිඳාණන් වහන්සේට යාච්ඤා කරන්නැ”යි කී ය.

ක්‍රියා 8:14-24 Sinhala New Revised Version 2018 (SNRV)

සමාරීයයන් දෙවියන් වහන්සේගේ වචනය පිළිගත් බව ජෙරුසලමේ සිටි අපෝස්තුළුවරුන්ට සැළ වූයෙන් ඔව්හු පේදුරු සහ ජොහන් ඔවුන් වෙතට යැවූ හ. ඔව්හු එහි ගොස් ඔවුන්ට ශුද්ධාත්මයාණන් ලැබෙන ලෙස යාච්ඤා කළහ. මන්ද, ඔවුන් ජේසුස් වහන්සේගේ නාමයට බව්තීස්ම-ස්නාපනය කරනු ලැබුවා මිස, ඒ වන තුරුත් ශුද්ධාත්මයාණන් ඔවුන්ගෙන් කිසිවෙකු කෙරෙහි පැමිණ තිබුණේ නැත. අපෝස්තුළුවරුන් ඔවුන් පිට අත් තැබූ කල, ඔවුන්ට ශුද්ධාත්මයාණන් ලැබිණි. අපෝස්තුළුවරුන්ගේ අත් තැබීම කරණකොටගෙන ශුද්ධාත්මය ලැබෙන බව දුටු සීමොන් ඔවුන්ට මුදල් දෙමින්, “යමෙකු පිට මම අත් තබම් ද, ඔහුට ශුද්ධාත්මයාණන් ලැබෙන පිණිස මේ බලය මටත් දෙන්නැ”යි කී ය. එහෙත් පේදුරු ඔහුට කතා කොට, “දෙවියන් වහන්සේගේ දීමනාව මුදලට ගත හැකි යයි ඔබ සිතූ බැවින්, ඔබේ මුදලත්, ඔබත් නැතිභංග වේ වා. මේ කාරණයෙහි කොටසක් වත් පංගුකාරකමක් වත් ඔබට නැත. මන්ද, දෙවියන් වහන්සේ ඉදිරියෙහි ඔබේ සිත අවංක නැත. එහෙයින් ඔබේ සිතේ අදහස ගැන ඔබට කමා කරනු ලබන්නේ දැ යි බලනු පිණිස ඒ දුෂ්ටකම ගැන පසුතැවී සිත හරවා ගෙන, සමිඳාණන් වහන්සේට යාච්ඤා කරන්න. මන්ද, ඔබ තික්තකමේ ගැඹුරට කිමිදී පාප බැමිවලින් වෙළී සිටින බව මට පෙනේ ය”යි කී ය. සීමොන් පිළිතුරු දෙමින්, “ඔබ කී දෙයින් කිසිවක් මට සිදුනොවන පිණිස, මා උදෙසා සමිඳාණන් වහන්සේට යාච්ඤා කරන්නැ”යි කී ය.