2 රාජාවලියේ 16:1-5

2 රාජාවලියේ 16:1-5 NRSV

රෙමලියාගේ පුත් පෙකාගේ දහහත් වන අවුරුද්දේ දී ජුදාහි රජ වූ ජෝතාම්ගේ පුත් ආහාස් රජ විය. ආහාස් විසි අවුරුදු වයසේ දී රජ වී ජෙරුසලමේ දහසය අවුරුද්දක් රජකම් කෙළේ ය. ඔහු තමාගේ පිය වූ දාවිත් මෙන් නොව තමාගේ දෙවි සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි හරි දේ නොකර, ඉශ්රායෙල් රජුන්ගේ මාර්ගයෙහි ගමන්කර සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් පුත්‍රයන් ඉදිරියෙන් පහකරදැමූ විජාතීන්ගේ පිළිකුල් සිරිත් ලෙස තමාගේ පුත්‍රයා ගිනි මැදින් යවා පූජා කෙළේ ය. ඔහු ගිරිකුළු දේවාලවලත්, හෙල් පිටත්, සියලු අතු පතර ඇති ගස් යටත් පූජා ඔප්පු කොට සුවඳ ද්‍රව්‍ය පිදී ය. එකල සිරියාවේ රජ වන රෙශින් ද රෙමලියාගේ පුත් ඉශ්රායෙල් රජ වන පෙකා ද යුද්ධ කරන පිණිස ජෙරුසලමට අවුත් ආහාස් වැටලූ නමුත්, ඔහු පරදවන්නට අපොහොසත් වූ හ.