1 සාමුවෙල් 15:24-31
1 සාමුවෙල් 15:24-31 NRSV
සාවුල් සාමුවෙල්ට පිළිතුරු දෙමින්, “මම පව් කෙළෙමි. මන්ද, මම සෙනඟට බිය වී ඔවුන්ගේ හඬට කීකරු වූ බැවින් සමිඳාණන් වහන්සේගේ ආඥාව ද ඔබේ වචන ද කඩ කෙළෙමි. එහෙත්, දැන් ඔබ මාගේ පාපයට කමා වී සමිඳාණන් වහන්සේට මා නමස්කාර කරන පිණිස මා සමඟ අව මැනවැ”යි කීවේ ය. සාමුවෙල් පිළිතුරු දෙමින්, “මම ඔබ සමඟ ආපසු නොඑමි. මන්ද, ඔබ සමිඳාණන් වහන්සේගේ වචනය ප්‍රතික්ෂේප කෙළෙහි ය; සමිඳාණන් වහන්සේ ද ඉශ්රායෙල්වරුන් කෙරෙහි රජකමින් ඔබ පහකළ සේකැ”යි සාවුල්ට කීවේ ය. සාමුවෙල් යන්නට හැරෙන විට සාවුල් ඔහුගේ සළුවේ කෙළවර අල්ලාගත්තේ ය. එවිට ඒ සළුව ඉරුණේ ය. සාමුවෙල් ඔහුට කතා කරමින්, “සමිඳාණන් වහන්සේ අද ඉශ්රායෙල් රාජ්‍යය ඔබෙන් ගෙන ඉරා ඔබට වඩා යහපත් ඔබේ අසල්වැසියෙකුට දී තිබේ. ඉශ්රායෙල්හි පරාක්‍රමයාණෝ බොරු නොකියන සේක. අධිෂ්ඨාන කරගත් දේ වෙනස් නොකරන සේක. උන් වහන්සේ මනුෂ්‍යයෙකු නොවන බැවින් සිතූ දේ වෙනස් නොකරන සේකැ”යි කීවේ ය. එවිට සාවුල් පිළිතුරු දෙමින්, “මම පව් කළෙමි; එහෙත්, දැනට මාගේ සෙනඟගේ ප්‍රජා මූලිකයන් ද ඉශ්රායෙල්වරුන් ද ඉදිරියෙහි මට ගෞරවය දී, මා විසින් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට නමස්කාර කරනු ලබන පිණිස මා සමඟ අව මැනව”යි කීවේ ය. එවිට සාමුවෙල් සාවුල් සමඟ ගියේ ය. සාවුල් ද සමිඳාණන් වහන්සේට නමස්කාර කෙළේ ය.

