1 රාජාවලියේ 18:1-18

1 රාජාවලියේ 18:1-18 NRSV

බොහෝ‍ කාලයකට පසු තුන් වන අවුරුද්දේ දී සමිඳාණන් වහන්සේගේ පණිවුඩය එලියා වෙත පැමිණ, “නුඹ ගොස් ආහබ් ඉදිරියෙහි පෙනී සිටින්න. මම පොළොව පිට වැස්ස එවන්නෙමි”යි කීවේ ය. එලියා ආහබ් ඉදිරියෙහි පෙනී සිටින්නට ගියේ ය. සාගතය සමාරියෙහි බලවත් ව තිබිණි. ආහබ් ගෙදර ප්‍රධානියා වන ඔබදියාට අඬ ගැසුවේ ය. ඔබදියා වනාහි සමිඳාණන් වහන්සේට බොහෝ‍ සෙයින් ගරුබිය ඇති කෙනෙකි. මන්ද, ජෙශෙබෙල් සමිඳාණන් වහන්සේගේ දිවැසිවරුන් මරාදැමූ කල්හි, ඔබදියා දිවැසිවරුන් සියදෙනෙකු රැගෙන ගොස්, පණස පණස බැගින් ඔවුන් ගුහාවල සඟවා ආහාර සහ වතුර දී, ඔවුන් පෝෂ්‍ය කෙළේ ය. ආහබ් ඔබදියාට කතා කොට, “දේශයෙහි සියලු දිය උල්පත් හා ඔයවල් ළඟට යන්න; සියලු සිවුපාවුන් නැති වන්න නොදී අශ්වයන් හා කොටළුවන් පණපිටින් රක්ෂා කරගන්න පිණිස සමහර විට අපට තෘණ සම්බ වේ ය”යි කීවේ ය. මෙසේ මුළු දේශය පරීක්ෂා කරන පිණිස ඔවුන් එය බෙදාගෙන ආහබ් එක මාර්ගයකින් වෙන ම ගියේ ය; ඔබදියා වෙන් ව වෙන මාර්ගයකින් වෙන ම ගියේ ය. ඔබදියා යන විට එලියා ඔහුට සම්බ වී ය. ඔබදියා ඔහු හැඳිනගෙන මුණින්තළා වී, “මාගේ ස්වාමීන් වන එලියා ඔබ දැ”යි ඇසී ය. ඔහු පිළිතුරු දෙමින්, “ඒ මම ය, ‘එලියා මෙහි සිටී ය’යි ඔබ ගොස් ඔබේ ස්වාමියාට කියන්නැ”යි ඔහුට කී ය. එවිට ඔහු මෙසේ කීවේ ය: “ඔබේ මෙහෙකරු වන මා මරන පිණිස ආහබ්ගේ අතට පාවා දීමට මම මොන පාපයක් කෙළෙම් ද? ඔබ සොයන පිණිස මාගේ ස්වාමියා මිනිසුන් නොහැරිය ජාතියක් වත්, රාජ්‍යයක් වත් නැතැ යි ඔබේ ජීවමාන දෙවි සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවුරමි. ‘ඔහු මෙහි නැත’ කියා ඔවුන් කී කල, ඔබ ඔවුන්ට සම්බ නොවූ බවට ඔහු ඒ රාජ්‍යවලිනුත්, ජාතීන්ගෙනුත් දිවුරුම් ගත්තේ ය. එහෙත්, ‘එලියා මෙහි සිටිනු ඇතැ යි ගොස් ඔබේ ස්වාමියාට දන්වන්නැ’යි ඔබ කියන්නෙහි ය. තවද, මා ඔබ වෙතින් අහක් ව ගිය වහාම දේවාත්මභාවය මා නොදන්න තැනකට ඔබ ගෙනයනු ඇත. මා ගොස් ආහබ්ට කී කල, ඔහුට ඔබ සම්බ නොවන නිසා මා මරනු ඇත. එහෙත්, ඔබේ මෙහෙකරු වන මම, බාල වයසේ පටන් සමිඳාණන් වහන්සේ කෙරෙහි ගරුබිය පාමින් සිටියෙමි. ජෙශෙබෙල් සමිඳාණන් වහන්සේගේ දිවැසිවරුන් මරාදමන කල, මා කළ දේ එනම්, උන් වහන්සේගේ දිවැසිවරුන්ගෙන් සියදෙනෙකු පණස පණස බැගින් ගුහාවල සඟවා ආහාර පාන දී ඔවුන් පෝෂ්‍ය කළ හැටි මාගේ ස්වාමියාට නොකියන ලද්දේ ද? දැනුත්, ‘එලියා මෙහි සිටින්නේ ය කියා ඔබ ගොස් ඔබේ ස්වාමියාට දන්වන්නැ’යි ඔබ කියන්නෙහි ය. ඔහු මා මරනු ඇත.” එලියා පිළිතුරු දෙමින්, “මම ඒකාන්තයෙන් ඔහු ඉදිරියෙහි පෙනී සිටින්නෙමි යි මා වැඳුම්පිදුම් කරන සියලු බලැති ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවුරමි”යි කීවේ ය. එවිට ඔබදියා, ආහබ් රජු සම්බ වන්නට ගොස් ඒ බව ඔහුට දැන්වී ය. ආහබ් එලියා සම්බ වන්නට ගියේ ය. තවද, ආහබ් රජ එලියා දුටු විට, ඔහුට කතා කොට, “ඉශ්රායෙල් ජනයා කළඹන තැනැත්තේ ඔබ දැ”යි ඔහුගෙන් ඇසී ය. ඔහු උත්තර දෙමින්, “මා නොව ඔබ සහ ඔබේ පියාගේ වංශය සමිඳාණන් වහන්සේගේ ආඥා අත්හැර, බාල් දේවතාවා පසුපස ගිය කාරණය නිසා ඔබ හැම ඉශ්රායෙල් ජනයා කැළඹුවහු ය.

1 රාජාවලියේ 18:1-18 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය