1 රාජාවලියේ 10:1-10

1 රාජාවලියේ 10:1-10 NRSV

ෂෙබාහි රැජින සමිඳාණන් වහන්සේගේ නාමයේ හේතුවෙන් සලමොන් රජු ලත් කීර්තිය ගැන අසා දුෂ්කර ප්‍රශ්නවලින් ඔහු පිරික්සන පිණිස පැමිණියා ය. ඕතොමෝ ඉතා විශාල පිරිවරක් ද සුවඳ ද්‍රව්‍ය සහ රත්රන් රාශියක් ද මැණික් ගල් පටවන ලද ඔටුවන් ද ඇති ව ජෙරුසලමට සැපත් වූවා ය. ඇය සලමොන් වෙත ගොස් තම සිතේ තිබූ සියල්ල ගැන ඔහු සමඟ කතා කළා ය. සලමොන් ද ඇගේ සියලු ප්‍රශ්න ඈට විසඳා කී ය. ඈට තෝරා දිය නොහැකි වූ කිසි ප්‍රශ්නයක් රජුට නො වී ය; කිසිවක් ඔහුගෙන් සැඟවී තිබුණේ නැත. ෂෙබාහි රැජින සලමොන්ගේ මහා ප්‍රඥා මහිමය ද ඔහු ගොඩනැඟුවාවූ මාලිගාව ද ඔහුගේ මේසයේ ආහාර ද ඔහුගේ නිලධාරීන් අසුන් ගන්නා ආකාරය ද ඔහුගේ මෙහෙකරුවන් සේවයෙහි නිරත වන අන්දම ද සේවකයන් ලා සිටි අනගි ඇඳුම් ද ඔහුගේ කුසලාන දරන්නන් ද ඔහු විසින් සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ පුද කරන ලද පූජා ද දුටු කල තුෂ්ණිම්භූත වූවා ය. එවිට ඈ රජුට කතා කොට, “මාගේ දේශයේ දී ඔබේ ක්‍රියා හා ඔබේ ප්‍රඥාව ගැන මා ඇසූ ආරංචි සැබෑ ය. එහෙත්, මම අවුත් මාගේ ඇසින් දකින තෙක් ඒ වචන විශ්වාස නොකෙළෙමි. සැබැවින් ම අඩක් වත් මට නොකියන ලද්දේ ය. ඔබේ ප්‍රඥා මහිමයත්, සෞභාග්‍යයත් මා ඇසූ කීර්තියේ ප්‍රමාණයටත් වඩා උසස් ව තිබේ. ඔබේ භාර්යාවෝ‍ වාසනාවන්තියෝ ය. නිතර ම ඔබ ඉදිරියෙහි ඔබේ ප්‍රඥාව අසන මේ ඔබේ සේවකයෝ වාසනාවන්තයෝ ය. ඉශ්රායෙල්වරුන්ගේ සිංහාසනය පිට ඔබ පත් කරන පිණිස ඔබ කෙරෙහි ප්‍රසන්න වූ ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රශංසා වේ වා! සමිඳාණන් වහන්සේ සැම කල්හි ම ඉශ්රායෙල්වරුන්ට ප්‍රේම කළ බැවින් විනිශ්චයත්, යුක්තියත් ඉෂ්ට කරන්නට උන් වහන්සේ ඔබ රජ කොට පත් කළ සේකැ”යි කීවා ය. තවද, ඈ රන් කිලෝග්‍රෑම් හාරදහසක් ද සුවඳ ද්‍රව්‍ය මහත් රාශියක් ද මැණික් ගල් ද රජුට දුන්නා ය. ෂෙබාහි රැජින සලමොන් රජුට දුන් ඒ සුවඳ ද්‍රව්‍ය හා සමාන කළ හැකි සුවඳ ද්‍රව්‍ය තවත් නොලැබුණේ ය.