1 කොරින්ති 14:1-20

1 කොරින්ති 14:1-20 NRSV

ප්‍රේමය ඔබේ පරමාර්ථය කර ගන්න. ආත්මික දීමනා, ප්‍රධාන කොට දිවැස් වැකි දෙසීම අත් කරගැනීමට වීර්ය කරන්න. අන් භාෂා කථනය කරන්නා මිනිසුන්ට නොව දෙවියන් වහන්සේට කතා කරයි. ඔහු ආත්මයාණන් කරණකොටගෙන අබිරහස් කතා කරන බැවින් කිසිවෙකුට ඔහු තේරුම්ගත නොහැක. එහෙත් දිවැස් වැකි දෙසන්නා, අභිවෘද්ධිය ද ධෛර්යය හා සැනසීම ද දෙන වචන මිනිසුන්ට කතා කරයි. අන් භාෂා කථනය කරන්නා තමාගේ ම අභිවෘද්ධිය සලසාගනියි. එහෙත් දිවැස් වැකි දෙසන්නා සභාවේ අභිවෘද්ධිය සලසන්නේ ය. ඔබ හැම දෙන ම අන් භාෂා කථනය කරනවාට මම කැමැත්තෙමි. එහෙත් ඔබ දිවැස් වැකි දෙසන්නේ නම් ඊටත් වඩා කැමැත්තෙමි. අන් භාෂා කථනය කරන්නා, සභාවේ අභිවෘද්ධිය සඳහා කියන දෙය විසඳා නොදේ නම් ඔහුට වඩා දිවැසි වැකි දෙසන්නා උතුම් ය. සහෝදරවරුනි, මා ඔබ වෙත පැමිණ එළිදරව් කිරීමේ ද ප්‍රඥාවේ ද දිවැසි වැකි දෙසීමේ ද අනුශාසනාවේ ද වචනවලින් ඔබට කතා නොකොට, අන් භාෂා කථනය කළොත් එයින් ඔබට කුමන ප්‍රයෝජනයක් ද? එලෙස ම, නළාව හෝ වීණාව හෝ වැනි අප්‍රාණික භාණ්ඩ වාදනය කරන විට නික්මෙන සංගීත ස්වර අතර වෙනසක් නැත්නම්, ඒවායින් කුමන තාලයක් වාදනය වන්නේ දැ යි හඳුනාගන්නේ කෙසේ ද? යුද හොරණෑව පැහැදිලි හඬක් නොදේ නම් කවරෙක් සටනට සැරසේ ද? එසේ ම, ඔබ අන් භාෂා කථනය කරන විට, පැහැදිලි ව කතා නොකරන්නෙහි නම්, ඔබ කියන දේ තේරුම්ගන්නේ කෙසේ ද? එය ඔබ සුළඟට කතා කරන්නාක් මෙන් වේ. ලෝකයේ විවිධ භාෂා ඇතත්, ඉන් එකක් වත් අර්ථ විරහිත නොවේ. ඒ නිසා කතා කරන භාෂාවේ තේරුම නොදනිම් නම් එය කතා කරන්නාට මම විදේශිකයෙක් වෙමි. ඔහු ද මට විදේශිකයෙක් වන්නේ ය. එසේ ම ඔබත් ආධ්‍යාත්මික කුශලතා අත්කර ගැන්මට උද්‍යෝගිමත් බැවින්, සභා අභිවෘද්ධිය සැලසෙන ඒවායින් පූර්ණ ව සිටීමට උත්සාහ කරන්න. එබැවින් අන් භාෂාවක් කථනය කරන්නා, එය විසඳා දීමට ද හැකි වන ලෙස යාච්ඤා කරාවා. මා අන් භාෂාවකින් යාච්ඤා කරන විට මාගේ ආධ්‍යාත්මය යාච්ඤා කරන නමුත් මාගේ සිහිකල්පනාව ක්‍රියා විරහිත ය. එසේ නම් කුමක් කරම් ද? මම ආධ්‍යාත්මයෙන් යාච්ඤා කරමි; සිහිකල්පනාවෙන් ද යාච්ඤා කරමි; ආධ්‍යාත්මයෙන් තුති ගී ගයමි, සිහිකල්පනාවෙන් ද තුති ගී ගයමි. ඔබ ආධ්‍යාත්මයෙන් තුති පුදන විට, එය පිළිබඳ උගැනුම නොලත් තැනැත්තා, ඔබ කියන්නේ කුමක් දැ යි නොදන්නා බැවින්, ඔබගේ තුති පිදීමට ‘ආමෙන්’ යයි කියන්නේ කෙසේ ද? ඔබගේ තුති පිදීම ඉස්තරම් විය හැකි ය. එහෙත් එයින් අනික් අයට වන යහපතක් නැත. ඔබ සියල්ලන්ට වඩා මා අන් භාෂා කථනය කරන බැවින්, මම දෙවියන් වහන්සේට ස්තුති කරමි. එහෙත් සභාවේ දී අන් භාෂාවකින් වචන දහසක් කථනය කරනවාට වඩා අන්‍යයන්ට උගන්වන පිණිස මාගේ සිහිකල්පනාවෙන් වචන පහක් කතා කරන්නට කැමැත්තෙමි. සහෝදරවරුනි, සිහිබුද්ධියෙන් ළාමක නොවන්න. නපුර සම්බන්ධයෙන් බිළිඳුන් වන්න. සිහිබුද්ධියෙන් වැඩිහිටියන් වන්න.

මෙයට අදාළ වීඩියෝ

1 කොරින්ති 14:1-20 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය