1 වංශාවලියේ 22:1-5
1 වංශාවලියේ 22:1-5 NRSV
එවිට දාවිත් කතා කොට, “දෙවි සමිඳාණන් වහන්සේගේ මාලිගාව මේ ය; ඉශ්රායෙල්වරුන්ගේ දවන යාග පූජා ඔප්පු කරන පූජාසනය ද මේ ය”යි කීවේ ය. තවද, දාවිත් ඉශ්රායෙල් දේශයෙහි සිටි සියලු විදේශීන් රැස් කරන්න අණ කොට, දෙවියන් වහන්සේගේ මාලිගාව ගොඩනඟන පිණිස හතරැස් හැඩේට ගල් කපන්න ගල් වඩුවන් පත් කෙළේ ය. දොරටුවල ඇණ පිණිසත්, සන්ධි පිණිසත් දාවිත් යකඩ රාශියක් සූදානම් කෙළේ ය. කිරන්න බැරි තරම් බොහෝ ලෝකඩත්, ගණන් නැති කිහිරි ලීත් සූදානම් කෙළේ ය. මන්ද, සීදොන්වරු ද තීර්වරු ද කිහිරි ලී බොහෝ සෙයින් දාවිත් ළඟට ගෙනා හ. එවිට දාවිත් කතා කොට, “මාගේ පුත් සලමොන් ළා බාල ය; සමිඳාණන් වහන්සේට ගොඩනඟන්න තිබෙන මාලිගාවේ කීර්තිය ද තේජස ද සියලු රටවලට පතළ වී යන හැටියට එය අතිශයින් අලංකාර ව තිබිය යුතු ය. එබැවින් මම ඒ කාර්යය පිණිස ඔහු සූදානම් කරන්නෙමි”යි කී ය. මෙසේ දාවිත් තමාගේ මරණයට පළමුවෙන් බොහෝ දේ සූදානම් කෙළේ ය.

