සෙකරියා 1:1-6

සෙකරියා 1:1-6 SROV

දාරියුස්ගේ දෙවෙනි අවුරුද්දේ අටවෙනි මාසයේදී ස්වාමීන්වහන්සේගේ වචනය ඉද්දෝගේ පුත්‍රයා වන බෙරෙකියාගේ පුත්‍රවූ අනාගතවක්තෘවූ සෙකරියා වෙතට පැමිණ කියනුයේ: ස්වාමීන්වහන්සේ නුඹලාගේ පියවරුන් කෙරෙහි ඉතා අප්‍රසන්නවූසේක. එබැවින්: සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේකැයි ඔවුන්ට කියන්න–මා වෙතට හැරීඑන්නැයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක, එවිට මම නුඹලා වෙතට හැරීඑන්නෙමියි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක. නුඹලාගේ පියවරුන්ට සමාන නොවෙන්න, පළමු අනාගතවක්තෘවරුන්: නුඹලාගේ නපුරු මාර්ගවලින්ද නපුරු ක්‍රියාවලින්ද හැරෙන්නැයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක කියා ඔවුන්ට මොරගැසූ නුමුත්, ඔවුන් ඇසුවේවත් මට ඇහුම්කන්දුන්නේවත් නැතැයි ස්වාමීන්වහන්සේ කියනසේක. නුඹලාගේ පියවරු කොයිද? අනාගතවක්තෘවරු සැමකල්ම ජීවත්වෙද්ද? නුමුත් මාගේ මෙහෙකරුවන්වූ අනාගතවක්තෘවරුන්ට මා විසින් අණකළ මාගේ වචනත් මාගේ නියෝගත් නුඹලාගේ පියවරුන් කරා පැමුණුනා නොවේද? එවිට ඔව්හු හැරී: සේනාවල ස්වාමීන්වහන්සේ අපට කරන්ට අදහස්කළ ප්‍රකාරයට අපේ මාර්ග සහ අපේ ක්‍රියාවල හැටියට උන්වහන්සේ අපට කළසේකැයි කීවෝයයි කීය.

මෙයට අදාළ වීඩියෝ

සෙකරියා 1:1-6 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය