රූත්ගේ කථාව 4:3-13

රූත්ගේ කථාව 4:3-13 SROV

ඔහු ඒ ළඟ නෑයාට කථාකොට: මෝවබ් රටින් හැරී ඇවිත් සිටින නායොමි අපගේ සහෝදරවූ එලීමෙලෙක්ට තිබුණු බිම් කොටස විකුණන්නීය. මෙහි හිඳින්නන් සහ මාගේ සෙනඟගේ වැඩිමහල්ලන් ඉදිරියෙහි ඒක මිලේට ගන්න කියා කාරණය නුඹට දන්වන්ට සිතුවෙමි. ඉතින් ඒක ගළවාගන්ට කැමතිනම් ගළවාගන්න. ගළවාගන්ට අකැමැතිනම් ඒ බව දැනගන්නා පිණිස මට කියන්න. මක්නිසාද ඒක ගළවාගන්ට නුඹ සහ නුඹට පසුව මාත් ඇර වෙන කිසිවෙක් නැතැයි කීවේය. ඒක මම ගළවා ගන්නෙමියි ඔහු කීය. එවිට බෝවස්: නායොමි අතින් ඒ බිම මිලේට ගන්නා දවසේදී, මැරුණු අයගේ නම උරුමය කෙරෙහි පවතින පිණිස මැරුණු අයගේ භාර්යාවවූ මෝවබිය රූත්ගෙනුත් ඒක මිලේට ගන්ට ඕනෑයයි කීවාය. ඒ ළඟ නෑයා කථාකොට: මට ඒක ගළවාගන්ට බැරිය; එසේ කළොත් මාගේ උරුමයට අලාභව‍ෙයි. මට ගළවාගන්ට බැරි නිසා මට තිබෙන මිදීමේ බලය නුඹම භාරගන්නැයි කීවාය. පෙර කාලයේ මුදාගැනීමද හුවමාරු කරගැනීමද ගැන සියලු කාරණා ඉශ්‍රායෙල්වරුන් අතරේ ස්ථිරකිරීමේ සිරිත මෙසේය: එක්කෙනෙක් තමාගේ මිරිවැඩිය ගළවා අනික් අයට දෙන්නේය. ඒක ඉශ්‍රායෙල්වරුන් අතරේ සහතිකකිරීමේ විධියව තිබුණේය. ඒ නිසා ළඟ නෑයා: නුඹ ඒක මිලේට ගන්නැයි බෝවස්ට කියා තමාගේ මිරිවැඩිය ගැළෙවුවේය. බෝවස් වැඩිමහල්ලන්ටත් මුළු සෙනඟටත් කථාකොට: එලීමෙලෙක්ට තිබුණ සියල්ලත් කිලියොන්ට සහ මාලොන්ට තිබුණු සියල්ලත් මා විසින් නායොමි අතින් මිලදී ගත් බවට නුඹලා අද සාක්ෂිකාරයෝය. ඇරත් මැරුණු අයගේ නාමය ඔහුගේ සහෝදරයන් අතරෙන්ද ඔහුගේ ස්ථානයේ දොරටුවෙන්ද මැකීනොයන පිණිස මැරුණු අයගේ උරුමය කෙරෙහි ඔහුගේ නාමය ගෙනයන පිණිස මාලොන්ගේ භාර්යාවවූ මෝවබිය රූත් මාගේ භාර්යාව කොට මිලදී ගතිමි. ඊට නුඹලා අද සාක්ෂිකාරයෝයයි කීවේය. දොරටුවේ සිටි මුළු සෙනඟද වැඩිමහල්ලෝද කථාකොට: අපි සාක්ෂිකාරයෝය. ස්වාමීන්වහන්සේ නුඹේ ගෙට එන මේ ස්ත්‍රිය ඉශ්‍රායෙල් වංශය ගොඩනැගූ රාඛෙල්ද ලෙයාද යන ස්ත්‍රීන් දෙදෙනා මෙන් කරනසේක්වා. නුඹ එප්‍රාතාහි සම්පත් උපදවා ගන්න, බෙත්-ලෙහෙමෙහි කීර්තිමත් වෙන්න. ස්වාමීන්වහන්සේ මේ යෞවනීගෙන් නුඹට දෙන බීජය කරණකොටගෙන නුඹේ වංශය යූදා නිසා තාමාර් බිහිකළ පෙරෙශ්ගේ වංශය හා සමානවේවයි කීවෝය. මෙසේ බෝවස් රූත් පාවාගත්තේය, ඈ ඔහුගේ භාර්යාව වූවාය. ඔහු ඈ වෙතට පැමිණි කල ස්වාමීන්වහන්සේ ඈට ගර්භෝත්පත්තිය දුන්සේක, ඈ පුත්‍රයෙකු බිහිකළාය.