රෝම 3:9-23

රෝම 3:9-23 SROV

එසේවී නම් කිමෙක්ද? අපි ඔවුන්ට වඩා අඩු තත්ත්වයකද? කිසිසේත් නැත. මක්නිසාද යුදෙව්වරුද ග්‍රීක්වරුද යන සියල්ලෝ පාපයට යටත්ව සිටිතියි කියා අපි පළමු දොස්තැබුවෙමුව. ඒ ගැන මෙසේ ලියා තිබේ: ධර්මිෂ්ඨ කෙනෙක් නැත, එසේය, එක්කෙනෙක්වත් නැත; තේරුම්ගන්නාවූ කිසිවෙක් නැත, දෙවියන්වහන්සේ සොයන්නාවූ කෙනෙක් නැත; ඔවුන් සියල්ලෝ අහක්ව ගියෝය, එක්ව නිෂ්ප්‍රයෝජනවූවෝය; යහපත කරන්නෙක් නැත, එසේය, එක්කෙනෙක් පමණවත් නැත. ඔවුන්ගේ උගුර විවරවූ මිනීවළක්ය; ඔව්හු තමුන්ගේ දිව්වලින් වංචාකම් කළෝය. ඔවුන්ගේ තොල් යට පොළොං විෂ තිබේ. ඔවුන්ගේ මුඛය ශාපයෙන්ද තික්තකමෙන්ද පූර්ණය. ඔවුන්ගේ පාද ලේ වැගිරීමට කඩිසරය; ඔවුන්ගේ මාර්ගවල විනාශයත් කාලකණ්ණිකමත් තිබේ; ඔව්හු සමාදානයේ මාර්ගයද දැන නොගත්තෝය. ඔවුන්ගේ ඇස් හමුවෙහි දෙවියන්වහන්සේ කෙරෙහි භයක් නැත යනුයි. ඉඳින් ව්‍යවස්ථාවෙහි කියනලද සියල්ලම ව්‍යවස්ථාව යටතෙහි සිටින්නන්ට කියනලද බව අපි දනිමුව. එසේ වන්නේ සියල්ලන්ගේ කටවල් පියවනු ලබන පිණිසත්, මුළු ලෝකයා දෙවියන්වහන්සේගේ විනිශ්චයට යටත්කරනු ලබන පිණිසත්ය. කුමක්හෙයින්ද ව්‍යවස්ථාවේ ක්‍රියාවලින් කිසිම මනුෂ්‍යයෙක් දෙවියන්වහන්සේ ඉදිරියෙහි ධර්මිෂ්ඨකරනු නොලබන්නේය. මක්නිසාද ව්‍යවස්ථාව කරණකොටගෙන පාපය දැනගැනීම වේ. නුමුත් දැන් වනාහි ව්‍යවස්ථාව නැතුව, ව්‍යවස්ථාව සහ අනාගතවක්තෘවරුන්ගෙන් සාක්ෂි ලබමින්, දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකමක් ප්‍රකාශකරනලද්දේය. එනම් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල කරණකොටගෙන, අදහන්නාවූ සියල්ලන්ට ලැබෙන ධර්මිෂ්ඨකමය; ප්‍රභේදයකුත් නැත; මක්නිසාද සියල්ලෝම පව්කොට දෙවියන්වහන්සේගේ මහිමයෙන් හීනව සිටිති.

රෝම 3 කියවන්න

මෙයට අදාළ වීඩියෝ