රෝම 14:10-20

රෝම 14:10-20 SROV

එසේනම් නුඹ නුඹේ සහෝදරයා විනිශ්චයකරන්නේ මක්නිසාද? නොහොත් නුඹ නුඹේ සහෝදරයා කුමක් පිණිස සුළුකොට සිතන්නෙහිද? මක්නිසාද අපි සියල්ලෝම දෙවියන්වහන්සේගේ විනිශ්චයාසනය ඉදිරියෙහි පෙනී සිටින්නෙමුව. මක්නිසාද: මා ජීවත්ව සිටිනු සැබෑවා සේම සෑම දණහිස් මට නමන්නේය, සෑම දිව්ද දෙවියන්වහන්සේට ප්‍රශංසාකරන්නේය කියා ස්වාමීන්වහන්සේ කියනසේකැයි ලියා තිබේ. එහෙයින් අප එක් එක්කෙනා තම තමා ගැන දෙවියන්වහන්සේට ගණන්දෙනවා ඇත. එබැවින් අපි තවත් එකිනෙකා විනිශ්චය නොකරමු නුමුත් අනික් අතට තමාගේ සහෝදරයා ඉදිරියෙහි පැකිලීමට හේතුවක්වත් බාධාවක්වත් නොතබන්ට නිශ්චයකරගන්න. යමෙක් යම් දෙයක් අපවිත්‍රයයි සිතන්නේ නම් එය ඔහුට අපවිත්‍රවා මිස, ස්වභාවෙන්ම අපවිත්‍ර දෙයක් නැතැයි ස්වාමිවූ යේසුස්වහන්සේ කරණකොටගෙන ඒකාන්තයෙන්ම දනිමි. කෑම නිසා නුඹේ සහෝදරයා දුකට පැමිණේ නම්, නුඹ තවත් ප්‍රේමයෙන් යුක්තව හැසිරෙන්නේ නැත. යමෙකු නිසා ක්‍රිස්තුස්වහන්සේ මළසේක්ද ඔහු නුඹේ කෑමෙන් විනාශ නොකරන්න. එබැවින් නුඹලාට තිබෙන යහපත ගැන අගුණ කියනු නොලබාවා. මක්නිසාද දෙවියන්වහන්සේගේ රාජ්‍යය කෑමත් බීමත් නොව, ධර්මිෂ්ඨකමද සමාදානයද ශුද්ධාත්මයාණන් තුළ ප්‍රීතියද වේ. කුමක්හෙයින්ද ඒ කාරණාවලින් ක්‍රිස්තුස්වහන්සේට සේවයකරන අය දෙවියන්වහන්සේට ප්‍රසන්නවූද මනුෂ්‍යයන් විසින් යහපතැයි ඒත්තු ගන්නාවූද කෙනෙක්ය. එබැවින් අපි සමාදානය උපදවන කාරණාද එකිනෙකා වැඩිදියුණුකරන්ට පුළුවන් කාරණාද අනුව යමු. කෑම නිසා දෙවියන්වහන්සේගේ වැඩේ නාස්ති නොකරන්න. සියලු දේම පවිත්‍රය; නුමුත් බාධා උපදවන ලෙස කන මනුෂ්‍යයාට නපුරය.

රෝම 14 කියවන්න