ගීතාවලිය 119:1-112
ගීතාවලිය 119:1-112 SROV
නිර්දෝෂ මාර්ගයෙහි යන්නාවූ, ස්වාමීන්ගේ ව්‍යවස්ථාවෙහි හැසිරෙන්නාවූ තැනැත්තෝ භාග්‍යවන්තයෝය. උන්වහන්සේගේ ශික්ෂා පවත්වන්නාවූ, මුළු සිතින් උන්වහන්සේ සොයන්නාවූ තැනැත්තෝ භාග්‍යවන්තයෝය. එසේය, ඔව්හු කිසි අධර්මිෂ්ඨකමක් නොකෙරෙති; ඔව්හු උන්වහන්සේගේ මාර්ගවල හැසිරෙති. අප විසින් ඔබගේ නියෝග උත්සාහයෙන් පවත්වන පිණිස ඔබ ඒවා අපට අණකළසේක. ඔබගේ පනත් පවත්වන පිණිස මාගේ මාර්ග ස්ථිර නම් කොපමණ යහපත්ද! ඔබගේ ආඥා සියල්ල සලකන විට මම ලජ්ජා නොවන්නෙමි. ඔබගේ ධර්මිෂ්ඨ විනිශ්චයන් මා ඉගෙනගන්න කල සිතේ අවංකකමින් ඔබට ස්තුතිකරන්නෙමි. ඔබගේ පනත් පවත්වන්නෙමි, මා සහමුලින්ම අත් නොහළ මැනව. තරුණයෙක් තමාගේ මාර්ගය පවිත්‍රකරගන්නේ කුමකින්ද? ඔබගේ වචනය ප්‍රකාර පැවැත්මෙනි. මාගේ මුළු සිතින් ඔබ සෙවීමි. ඔබගේ ආඥාවලින් මුළාවයන්ට මට ඉඩ නුදුන මැනව. ඔබට විරුද්ධව පව් නොකරන පිණිස ඔබගේ වචනය මාගේ සිතේ නිධාන කරගතිමි. ස්වාමිනි, ඔබ ප්‍රශංසිතය. ඔබගේ පනත් මට ඉගැන්නුව මැනව. ඔබගේ මුඛයේ සියලු විනිශ්චයන් මාගේ තොල්වලින් ප්‍රකාශකෙළෙමි. සියලු සම්පතෙහි මෙන් ඔබගේ ශික්ෂා මාර්ගයෙහි ප්‍රීතිමත්වීමි. ඔබගේ නියෝග භාවනාකරන්නෙමි, ඔබගේ මාර්ග සලකන්නෙමි. ඔබගේ පනත්වලට ප්‍රියවන්නෙමි. ඔබගේ වචනය සිහිනැති නොකරන්නෙමි. මා ජීවත්වන පිණිස ඔබගේ මෙහෙකරුවාට බොහෝසේ යහපත්කම් කළ මැනව; එවිට ඔබගේ වචනය පවත්වන්නෙමි. ඔබගේ ව්‍යවස්ථාවෙන් ආශ්චර්යමත් දේ දක්නා පිණිස මාගේ ඇස් පැහැදුව මැනව. මම පොළොවෙහි විදේශිකයෙක්ව සිටිමි. ඔබගේ ආඥාවන් මාගෙන් නොසැඟවුව මැනව. සෑමවිටම ඔබගේ විනිශ්චයන් කෙරෙහි ඇති ආශාවෙන් මාගේ සිත බිඳේ. ඔබගේ ආඥාවලින් මුළාව යන්නාවූ, ශාපලද්දාවූ උඩඟුවූවන්ට ඔබ තරවටුකළසේක. නින්දාවත් අවමාන්නයත් මා කෙරෙන් පහකළ මැනව; මක්නිසාද ඔබගේ ශික්ෂා රක්ෂාකෙළෙමි. අධිපතියෝද හිඳගෙන මට විරුද්ධව කථාකළෝය. නුමුත් ඔබගේ මෙහෙකරුවා ඔබගේ පනත් භාවනාකෙළේය. ඔබගේ ශික්ෂාද මාගේ ප්‍රීතිය හා මාගේ මන්ත්‍රීහුය. මාගේ ආත්මය ධූලියට ඇලේ. ඔබගේ වචනය ලෙස මා ප්‍රාණවත් කළ මැනව. මාගේ මාර්ග කියාදුනිමි, ඔබ මට උත්තරදුන්සේක. ඔබගේ පනත් මට ඉගැන්නුව මැනව. ඔබගේ නියෝග මාර්ගය මට තේරුම්කරදුන මැනව. එවිට ඔබගේ ආශ්චර්ය ක්‍රියා ගැන භාවනාකරන්නෙමි. ශෝකය නිසා මාගේ ආත්මය දියවේ. ඔබගේ වචනය පරිද්දෙන් මා ශක්තිමත්කළ මැනව. වංකකමේ මාර්ගය මා කෙරෙන් පහකළමැනව. ඔබගේ ව්‍යවස්ථාව කරුණාවෙන් මට දුන මැනව. විශ්වාසකමේ මාර්ගය තෝරාගතිමි. ඔබගේ විනිශ්චයන් මා ඉදිරියෙහි තබාගතිමි. ඔබගේ ශික්ෂාවලට ඇලුම්වෙමි. ස්වාමිනි, මා ලජ්ජාවට නොපැමිණවුව මැනව. ඔබ මාගේ සිත පහදන කල්හි ඔබගේ ආඥා මාර්ගයෙහි දුවන්නෙමි. ස්වාමිනි, ඔබගේ ව්‍යවස්ථා මාර්ගය මට ඉගැන්නුව මැනව; එය කෙළවර දක්වා පවත්වන්නෙමි. මට තේරුම දුන මැනව, එවිට ඔබගේ ව්‍යස්ථාව රක්ෂාකරන්නෙමි; එසේය, මාගේ මුළු සිතින් එය පවත්වන්නෙමි. ඔබගේ ආඥා මාර්ගයෙහි මා යැවුව මැනව; මක්නිසාද ඊට ප්‍රියවෙමි. ලාභයට නොව ඔබගේ ශික්ෂාවලට මාගේ සිත යොමු කළ මැනව. නිෂ්ඵල දේ බැලීමෙන් මාගේ ඇස් හරවා, ඔබගේ මාර්ගයන්හි මා ප්‍රාණවත්කළ මැනව. ඔබ කෙරෙහි භයවීමට හේතුවූ ඔබගේ වචනය ඔබගේ මෙහෙකරුවාට ස්ථිර කළමැනව. මට භය උපදවන මාගේ නින්දාව මා කෙරෙන් පහකළ මැනව; මක්නිසාද ඔබගේ විනිශ්චයෝ යහපත්ය. ඔබගේ නියෝගවලට ආශාවීමි. ඔබගේ ධර්මිෂ්ඨකමෙහි මා ප්‍රාණවත් කළ මැනව. ස්වාමිනි, ඔබගේ වචනය පරිද්දෙන් ඔබගේ කරුණාව, එනම් ඔබගේ ගැළවීම, මා වෙතට පැමිණේවා. එවිට මට නින්දාකරන්නාට දිය යුතු උත්තරයක් මට ඇතිවන්නේය; මක්නිසාද මම ඔබගේ වචනය කෙරෙහි විශ්වාසකරමි. තවද සත්‍ය වචනය මාගේ කටින් සහමුලින්ම ඉවත් නොකළ මැනව; මක්නිසාද ඔබගේ විනිශ්චයන් කෙරෙහි බලාපොරොත්තුවීමි. මෙසේ ඔබගේ ව්‍යවස්ථාව සදාකල්හිම නිතරම පවත්වන්නෙමි. මම නිදහස්ලෙස හැසිරෙන්නෙමි; මක්නිසාද ඔබගේ නියෝග සෙවීමි. රජුන් ඉදිරියෙහිත් ඔබගේ ශික්ෂා ගැන ලජ්ජා නොවී කථාකරන්නෙමි. මා ප්‍රේමකළාවූ ඔබගේ ආඥාවන් කෙරෙහි ප්‍රීතිවන්නෙමි. මා ප්‍රේමකළාවූ ඔබගේ ආඥාවන් දෙස මාගේ අත් ඔසවමින්, ඔබගේ පනත් භාවනාකරන්නෙමි. බලාපොරොත්තුවෙන්ට ඔබ මට සැලැස්වූ හෙයින් ඔබගේ මෙහෙකරුවාට කී වචනය සිහිකළ මැනව. මාගේ දුකේදී මාගේ සැනසීම නම් මේය. මක්නිසාද ඔබගේ වචනය මා ප්‍රාණවත්කෙළේය. උඩඟු අය මට අතිශයින් අපහාස කළෝය. එහෙත් මම ඔබගේ ව්‍යවස්ථාවෙන් ඉවත නොගියෙමි. ස්වාමිනි, පුරාණයේ සිට තිබුණ ඔබගේ විනිශ්චයන් සිහිකොට සැනසීම ලබාගතිමි. ඔබගේ ව්‍යවස්ථාව අත්හරින දුෂ්ටයන් නිසා ඇවිළෙන කෝපය මා පිටට පැමිණියේය. මාගේ නවාතැන් ගෙයිදී ඔබගේ පනත් මාගේ ගායනා විය. ස්වාමිනි, රාත්‍රියේදී ඔබගේ නාමය සිහිකොට ඔබගේ ව්‍යවස්ථාව පැවැත්වීමි. මෙය මට ලැබුණේ මා ඔබගේ නියෝග රක්ෂාකළ නිසාය. මාගේ කොටස නම් ස්වාමීන්වහන්සේ ය. ඔබගේ වචන පවත්වන්නෙමියි කීයෙමි. මාගේ මුළු සිතින් ඔබගේ කරුණාව ඉල්ලීමි. ඔබගේ වචනය පරිද්දෙන් මට කරුණාකළ මැනව. මාගේ මාර්ග කල්පනාකොට ඔබගේ ශික්ෂාවලට මාගේ පාද හරවා ගතිමි. ඔබගේ ආඥා පැවැත්වීමට මම පමානූණෙමි, ඉක්මන්වීමි. දුෂ්ටයන්ගේ රැහැන් මා වටේ එතුණේය; නුමුත් ඔබගේ ව්‍යවස්ථාව සිහිනැතිනොකෙළෙමි. ඔබගේ ධර්මිෂ්ඨ විනිශ්චයන් නිසා මධ්‍යම රාත්‍රියෙහි ඔබට ස්තුතිකරන්ට නැගිටින්නෙමි. මම ඔබ කෙරෙහි භය ඇති සියල්ලන්ගේද ඔබගේ නියෝග පවත්වන්නන්ගේද සමාගම්කාරයෙක්මි. ස්වාමිනි, පොළොව ඔබගේ කරුණාවෙන් පිරී තිබේ. ඔබගේ පනත් මට ඉගැන්නුව මැනව. ස්වාමිනි, ඔබගේ වචනය ප්‍රකාර ඔබගේ මෙහෙකරුවාට ඔබ යහපත කළසේක. යහපත් විමර්ශනශක්තියත් ඥානයත් මට ඉගැන්නුව මැනව; මක්නිසාද මම ඔබගේ ආඥා විශ්වාස කෙළෙමි. මට විපත්ති පැමිණෙන්ට පළමුවෙන් මුළාව ගියෙමි; නුමුත් දැන් ඔබගේ වචනය පවත්වමි. ඔබ යහපත්ය, යහපත කරනසේක; ඔබගේ පනත් මට ඉගැන්නුව මැනව. උඩඟු අය මට විරුද්ධව බොරුවක් යෙදුවෝය. මාගේ මුළු සිතින් ඔබගේ නියෝග රක්ෂාකරන්නෙමි. ඔවුන්ගේ සිත් තෙල මෙන් තරය; නුමුත් මම ඔබගේ ව්‍යවස්ථාවට ප්‍රියවෙමි. ඔබගේ පනත් ඉගෙනගන්නා පිණිස මට විපත්ති පැමුණුණා යහපති. රන්රිදී දහස් ගණනකට වඩා ඔබගේ මුඛයෙන් නික්මුණු ව්‍යවස්ථාව මට යහපත්ය. ඔබගේ හස්තයෝ මා සාදා නිර්මිත කළෝය. ඔබගේ ආඥා ඉගෙනගන්නා පිණිස මට නුවණ දුන මැනව. ඔබ කෙරෙහි භය ඇත්තෝ මා දැක සන්තෝෂවන්නෝය. මක්නිසාද මම ඔබගේ වචනය කෙරෙහි බලාපොරොත්තුවීමි. ස්වාමිනි ඔබගේ විනිශ්චයන් ධර්මිෂ්ඨ බවත්, විශ්වාසකමින් ඔබ මට පීඩාකළ බවත් දනිමි. ඔබගේ මෙහෙකරුවාට ඔබ කී වචනය පරිද්දෙන් ඔබගේ කරුණාගුණය මාගේ සැනසීම පිණිස වේවා. මා ජීවත්වන පිණිස ඔබගේ අනුකම්පාව මා කරා පැමිණේවා. මක්නිසාද ඔබගේ ව්‍යවස්ථාව මාගේ ප්‍රීතියය. උඩඟු අය අයුතුලෙස මා හෙළාදැමූ බැවින් ඔව්හු ලජ්ජාවෙත්වා. නුමුත් මම ඔබගේ නියෝග භාවනා කරන්නෙමි. ඔබ කෙරෙහි භය ඇත්තෝ මා වෙතට හැරී එත්වා, එවිට ඔව්හු ඔබගේ ශික්ෂා දැනගන්නෝය. මා ලජ්ජා නොවන පිණිස මාගේ සිත ඔබගේ පනත්වල සම්පූර්ණව පවතීවා. මාගේ ආත්මය ඔබගේ ගැළවීමට ආශාවෙන් වෑරෙයි. මම ඔබගේ වචනය කෙරෙහි බලාපොරොත්තුවෙමි. ඔබ කවදා මා සනසන සේක්දැයි කියන අතර ඔබගේ වචනය ගැන බලා සිටීමෙන් මාගේ ඇස් ක්ෂයවේ. මක්නිසාද මම දුමෙහි තුබූ සම්භාජනයක් මෙන් වීමි; නුමුත් ඔබගේ පනත් සිහිනැති නොකරමි. ඔබගේ මෙහෙකරුවාගේ දවස් කොපමණද? මට පීඩාකරන්නන් කෙරෙහි ඔබ කවදා යුක්තිය ඉෂ්ටකරනසේක්ද? ඔබගේ ව්‍යවස්ථාව ලෙස නොහැසිරෙන්නාවූ උඩඟු අය මට වළවල් හෑරුවෝය. ඔබගේ ආඥා සියල්ල විශ්වාස කටයුතුය. ඔව්හු අයුතුලෙස මට පීඩාකෙරෙති; මට පිහිටවුව මැනව. ඔව්හු පොළොවේදී සහමුලින්ම වාගේ මා නැතිකළෝය; එහෙත් මම ඔබගේ නියෝග අත් නොහැරියෙමි. ඔබගේ කරුණාගුණය ලෙස මා ප්‍රාණවත්කළ මැනව; එවිට ඔබගේ මුඛයේ ශික්ෂාව පවත්වන්නෙමි. ස්වාමිනි, සදාකාලේටම ඔබගේ වචනය ස්වර්ගයෙහි පිහිටා තිබේ. ඔබගේ විශ්වාසකම සියලු පරම්පරාවලට පවත්නේය. ඔබ පොළොව පිහිටෙවුසේක, ඒක පවතී. ඔබගේ නියමයන් ලෙස ඒවා අද දක්වා පවතී; කුමක්හෙයින්ද ඒ සියල්ල ඔබට මෙහෙකරුය. ඔබගේ ව්‍යවස්ථාව මාගේ ප්‍රීතිය නොවී නම්, මාගේ විපත්තියේදී මා විනාශවෙන්ට තිබුණේය. ඔබගේ නියෝග කිසිකලක සිහි නැති නොකරන්නෙමි; මක්නිසාද ඔබ එයින් මා ප්‍රාණවත් කළසේක. මම ඔබගේය, මා ගැළෙවුව මැනව; මක්නිසාද ඔබගේ නියෝග සෙවීමි. දුෂ්ටයෝ මා විනාශකරන්ට බලා සිටියෝය; එහෙත් මම ඔබගේ ශික්ෂා කල්පනා කරන්නෙමි. සියලු සම්පූර්ණකමේ කෙළවර දුටිමි; එහෙත් ඔබගේ ආඥාව අති විශාලය. ඔබගේ ව්‍යවස්ථාවට මම කොපමණ ප්‍රේමකරම්ද! දවස මුළුල්ලේම ඒක මාගේ භාවනාවය. ඔබගේ ආඥා මාගේ සතුරන්ට වඩා මා නැණවත්කරයි; මක්නිසාද ඒවා නිතර මා සමඟය. මාගේ සියලු ගුරුවරුන්ට වඩා මට නුවණ ඇත්තේය; මක්නිසාද මාගේ භාවනාව ඔබගේ ශික්ෂා ගැනය. මා ඔබගේ නියෝග රක්ෂාකළ බැවින් වැඩිමහල්ලන්ට වඩා මට තේරුම් ඇත්තේය. ඔබගේ වචනය පවත්වන පිණිස සියලු නපුරු මාර්ගවලින් මාගේ පාද වලක්වාගතිමි. ඔබගේ විනිශ්චයන්ගෙන් ඉවත්ව නොගියෙමි; මක්නිසාද ඔබ මට ඉගැන්වූසේක. ඔබගේ වචන මාගේ දිවට කොපමණ මිහිරිද! එසේය, ඒවා මාගේ කටට මීපැණිවලට වඩා මිහිරිය. ඔබගේ නියෝගවලින් මට නුවණ ලැබේ. එබැවින් සියලු වංක මාර්ග නුරුස්සා හරිමි. ඔබගේ වචන මාගේ පාදයන්ට පහනක්ය, මාගේ මාවතට එළියක්ය. ඔබගේ ධර්මිෂ්ඨ විනිශ්චයන් පවත්වන්නෙමියි කියා දිවුළෙමි, ඒක ඉෂ්ටකෙළෙමි. මම බොහෝසේ පීඩිතයෙමි. ස්වාමිනි, ඔබගේ වචනය ප්‍රකාර මා ප්‍රාණවත්කළ මැනව. ස්වාමිනි, මාගේ මුඛයෙන් පැවසූ සතුටු පූජා පිළිගෙන, ඔබගේ විනිශ්චයන් මට ඉගැන්නුව මැනව. මාගේ ප්‍රාණය නිතරම මාගේ අතෙහිය; එහෙත් ඔබගේ ව්‍යවස්ථාව සිහි නැති නොකරමි. දුෂ්ටයෝ මට මලපතක් තැබුවෝය; එහෙත් ඔබගේ නියෝගවලින් මුළාව නොගියෙමි. ඔබගේ ශික්ෂා සදාකාලයට උරුමයක් කොට ගතිමි; මක්නිසාද ඒවා මාගේ සිතේ ප්‍රීතියය. සදාකාලේටම, අන්තිම දක්වා, ඔබගේ පනත් ඉෂ්ටකරන්ට මාගේ සිත නැමුවෙමි.








