හිතෝපදේශ 30

30
හිතෝපදේශ සහ අවවාද
1යාකේගේ පුත්‍රවූ ආගුර්ගේ වචන, එනම් විශිෂ්ට කියමන්ය.
ඒ මනුෂ්‍යයා ඉතියෙල්ට, එනම් ඉතියෙල්ට සහ උකාල්ට, මෙසේ කීවේය:
2සැබවින් මම සියල්ලන්ටම වඩා මූඪව සිටිමි, මනුෂ්‍ය නුවණ මට නැත.
3මම ප්‍රඥාව ඉගෙන නොගතිමි, ශුද්ධ තැනන්වහන්සේ ගැන දැනගැන්ම මට නැත.
4ස්වර්ගයට නැගී බැස ආවේ කවුද?
තමාගේ මිටෙහි සුළඟ අඩංගුකරගත්තේ කවුද?
වතුර තමාගේ සළුවෙහි බැඳගත්තේ කවුද?
පොළොවේ සියලු සීමා පිහිටෙවුවේ කවුද?
ඔහුගේ නම කුමක්ද?
ඔහුගේ පුත්‍රයාගේ නම මොකද?
දන්නෙහිනම් කියන්න.
5දෙවියන්වහන්සේගේ සියලු කීම් පවිත්‍රය;
උන්වහන්සේ කෙරෙහි විශ්වාස කරන්නන්ට උන්වහන්සේ පලිහක්ය.
6උන්වහන්සේ නුඹට තරවටු නොකරන පිණිසත් නුඹ බොරුකාරයෙක් නොවන පිණිසත් උන්වහන්සේගේ වචනවලට කිසිවක් එකතු නොකරන්න.
7කාරණා දෙකක් ඔබගෙන් ඉල්වීමි;
මාගේ මරණය දක්වා ඒවා මට නොදී නොසිටිය මැනව.
8වංචාවත් බොරුවත් මාගෙන් දුරුකළ මැනව;
මා පූර්ණවී ඔබ එපාකර:
ස්වාමීන්වහන්සේ කවුදැයි නොකියන පිණිසත්, මා දිළිඳුවී සොරකම්කොට,
9මාගේ දෙවියන්වහන්සේගේ නාමය අගෞරවලෙස සඳහන් නොකරන පිණිසත්, මට දිළිඳුකමවත් පොහොසත්කමවත් නොදී, මට සුදුසු කෑමවලින් මා පෝෂ‍්‍යකළ මැනව.
10වැඩකාරයෙකු ගැන ඔහුගේ ස්වාමියාට කේලාම් නොකියන්න, එසේ කළොත් සමහරවිට ඔහු නුඹට ශාපකරන්නේය, නුඹද වරදකාරයෙක් වී දඬුවම් විඳිනවා ඇත.
11තමුන්ගේ පියවරුන්ට ශාපකරන්නාවූ, තමුන්ගේ මව්වරුන්ට ආශීර්වාද නොකරන්නාවූ පරම්පරාවක් ඇත්තේය.
12තමුන්ගේ කිලුටුකම සෝදා නොදැමූ නුමුත් තමුන් පිරිසිදුයයි සිතන්නාවූ පරම්පරාවක් ඇත්තේය.
13උදාරම් ඇස්ද උඩුකුරුකරගත් ඇසිපියද ඇති පරම්පරාවක් ඇත්තේය.
14පොළෝතලයෙන් දිළින්දන්ද මනුෂ්‍යයන් අතරෙන් අසරණයන්ද කා දමන්ට කඩු වැනි දත් සහ පිහියා වැනි හකුදත්ද ඇති පරම්පරාවක් ඇත්තේය.
15දෙන්න, දියන්නැයි කියන දූවරු දෙදෙනෙක් කූඩැල්ලාට ඇත.
කිසිකලක තෘප්තියට නොපැමිණෙන්නාවූ දේවල් තුනක් තිබේ, එසේය, ඇතැයි නොකියන දේවල් සතරක් තිබේ.
16එනම්, මිනීවළද;
වඳ ගැබද;
ජලයෙන් තෘප්තියට නොපැමිණෙන පොළොවද;
ඇතැයි නොකියන ගින්නද යන මේවාය.
17පියාට නින්දාකරන්නාවූ, මවුට කීකරුවීම සුළුකරන්නාවූ ඇස දෙණියේ කපුටුවෝ උගුලාගන්නෝය, රාජාලි පැටව්ද ඒක කන්නෝය.
18මට ඉතා පුදුමවූ කාරණා තුනක් තිබේ, එසේය, මා නොදන්න කාරණා සතරක් තිබේ.
19එනම්, ආකාශයෙහි රාජාලියෙක් යන මාර්ගය;
පර්වතයක් උඩ සර්පයෙක් යන මාර්ගය;
මුහුද මැද නැවක් යන මාර්ගය;
කන්‍යාවකු හා සමඟ පුරුෂයෙකුගේ මාර්ගය යන මේවාය.
20මිථ්‍යාචාරික ස්ත්‍රියෙකුගේ මාර්ගයත් එසේමය;
ඈ කාලා කට පිහදමා:
මම දුෂ්ටකමක් නොකෙළෙමියි කියන්නීය.
21කාරණා තුනකට පොළොව චංචල වෙයි, ඊට දරන්ට බැරි සතරක්ද තිබේ.
22එනම්, රජබවට පැමිණෙන සේවකයෙක්ය;
කෑමෙන් තෘප්තියට පැමිණියාවූ මෝඩයෙක්ය;
23ආශා නූපදවන විවාහවූ ස්ත්‍රියක්ය;
ස්වාමිදුවට උරුමක්කාරිය වෙන දාසියක්ය යන මේවාය.
24කුඩා නුමුත් ඉතා ඥානවත්වූ ජාති සතරක් පොළොවෙහි ඇත:
25කුහුඹුවෝ බල නැති සමූහයක්ය, එහෙත් උන් ග්‍රීෂ්ම කාලයෙහි උන්ගේ කෑම සපයති;
26බෙන්හාවෝ බෙලහීන ජාතියක්ය, එහෙත් උන් තමුන්ගේ ගෙවල් පර්වතවල සාදාගනිති;
27පළඟැටියන්ට රජෙක් නැත, එහෙත් උන් සියල්ලෝ කණ්ඩායම් වශයෙන් පිටත්ව යති;
28හූනා දෑතින් අල්ලාගන, රජ මාළිගාවල සිටියි.
29අලංකාරලෙස අඩි තබා යන තුන්දෙනෙක් සිටිති, එසේය, අලංකාරලෙස ඇවිදින සතරදෙනෙක් සිටිති:
30මෘගයන් අතරෙන් ඉතා බලවන්තයාවූ, කිසිවෙකු වෙතින් හැරී නොයන්නාවූ සිංහයා;
31හුළංබල්ලා;
එළුවා;
සේනා සහිතව යන රජ යන මොව්හුය.
32නුඹ උඩඟුවීමෙන් මෝඩකම් කෙළෙහි නම්, නොහොත් නපුරක් සිතුවෙහි නම්, අතින් කට වසාගන්න.
33මක්නිසාද කිරි ඇලලීමෙන් වෙඬරු හැදෙන්නේය, නාසය මිරිකීමෙන් ලේ එන්නේය.
එසේම උදහස ඇවිස්සීමෙන් තරඟය හටගන්නේය.

දැනට තෝරාගෙන ඇත:

හිතෝපදේශ 30: SROV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න