හිතෝපදේශ 3:1-21

හිතෝපදේශ 3:1-21 SROV

මාගේ පුත්‍රය, මාගේ උපදෙස් සිහි නැති නොකර, නුඹේ සිතින් මාගේ ආඥා රක්ෂාකරන්න. මක්නිසාද එයින් දවස් ගණනද ජීවිතයේ අවුරුදුද සමාදානයද නුඹට වැඩිවන්නේය. කරුණාව සහ සත්‍යවාදිකම නුඹෙන් පහ නොවේවා. ඒවා නුඹේ ගෙල වටේ බැඳගන්න; නුඹේ සිත නමැති පුවරුවේ ඒවා ලියාගන්න. එවිට නුඹ දෙවියන්වහන්සේගේද මනුෂ්‍යයාගේද ඇස් හමුවෙහි කරුණාවත් යහපත් කීර්තියත් ලබනවා ඇත. නුඹේම නුවණෙහි නොපිහිටා, නුඹේ මුළු සිතින් ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාසකරන්න. නුඹේ සියලු මාර්ගවලදී උන්වහන්සේ සලකන්න, එවිට උන්වහන්සේ නුඹේ මාවත් සමතලාකරනවා ඇත. නුඹ ඥානවන්තයෙකැයි සිතා නොගන්න; ස්වාමීන්වහන්සේ කෙරෙහි භයව නපුරෙන් දුරුවෙන්න. ඒක නුඹේ නහරවලට සනීපයද නුඹේ ඇටවලට ප්‍රාණවත්කමද වන්නේය. නුඹේ සම්පතින්ද නුඹේ සියලු අස්වැන්නේ ප්‍රථම ඵලයෙන්ද ස්වාමීන්වහන්සේට ගෞරව කරන්න. එවිට නුඹේ අටු බොහෝ ධාන්‍යයෙන් පිරෙන්නේය, නුඹේ මුද්‍රික යන්ත්‍රද අලුත් මුද්‍රිකපානයෙන් ඉතිරෙන්නේය. මාගේ පුත්‍රය, ස්වාමීන්වහන්සේගේ තරවටුකිරීම සුළුකොට නොසිතන්න; උන්වහන්සේගේ දඬුවමටද නොකලකිරෙන්න. මක්නිසාද පියෙකු ප්‍රිය පුත්‍රයාට දඬුවම්කරන්නාක්මෙන් ස්වාමීන්වහන්සේ තමන් ප්‍රේමකරන අයට දඬුවම්කරනසේක. ප්‍රඥාව සොයාගන්න මනුෂ්‍යයාද ඥානය ලබාගන්න මනුෂ්‍යයාද වාසනාවන්තයෝය. මක්නිසාද එහි ප්‍රයෝජනය රිදීවල ප්‍රයෝජනයටත් එහි ලාභය පිරිසිදු රනටත් වඩා හොඳය. ඈ රතුකැටවලට වඩා අනර්ඝය. නුඹේ සියලුම ප්‍රිය දේ ඈට සමානකළ නොහැක. ඇගේ දකුණතෙහි දීර්ඝායුසද ඇගේ වමතෙහි වස්තුව හා ගෞරවයද ඇත. ඇගේ මාර්ග ප්‍රසන්න මාර්ගවල්ය, ඇගේ සියලුම මාවත් සමාදානයය. ඈ අල්ලාගන්නන්ට ඈ ජීවන වෘක්ෂයක්ය; ඈ ලබාගන්නෝ වාසනාවන්තයෝය. ස්වාමීන්වහන්සේ ප්‍රඥාව කරණකොටගෙන පොළොවේ අත්තිවාරම් තැබූසේක; ඥානය කරණකොටගෙන අහස පිහිටෙවුසේක. උන්වහන්සේගේ දැනගැන්මෙන් ගැඹුරු තැන් හාරනු ලැබුවේය, වලාකුල්වලින්ද පිනි වෑස්සෙන්නේය. මාගේ පුත්‍රය, ඒවා නුඹේ ඇස්වලින් පහ නොවේවා; සාරවූ ඥානයද සිහියද තබාගන්න