හිතෝපදේශ 24:1-22

හිතෝපදේශ 24:1-22 SROV

දුෂ්ට මනුෂ්‍යයන්ට ඊර්ෂ්‍යා නොකරන්න, ඔවුන් සමඟ සිටීමට ආශා නොවන්න. මක්නිසාද ඔවුන්ගේ සිත නාස්තිකරන්ට කල්පනාකරයි, ඔවුන්ගේ තොල්ද අනතුරුකිරීම ගැන කථාකරයි. ප්‍රඥාවෙන් ගෙයක් ගොඩනගනු ලැබ, නුවණින් එය ස්ථිරවේ. දැනගැන්මෙන්ද එහි කාමර සියලු ආකාර අනර්ඝවූ ප්‍රසන්නවූ වස්තුවලින් පිරෙන්නේය. ප්‍රඥාවත් මනුෂ්‍යයා බලවන්තය; එසේය, දැනගැන්ම ඇති මනුෂ්‍යයා ශක්තිය වැඩිකරගනියි. මක්නිසාද ඥානවන්ත ගුරුකම් පිට නුඹ නුඹේ යුද්ධය කළ යුතුය; මන්ත්‍රීවරුන් රාශියක් ඇති කල්හි ආරක්ෂාව තිබේ. ප්‍රඥාව මෝඩයාට උසස් වැඩිය; දොරටුවේදී ඔහු තමාගේ මුඛය නොහරියි. නපුර කිරීමට උපා යොදන්නාට ප්‍රයෝගකාරයෙකැයි මනුෂ්‍යයෝ කියන්නෝය. මෝඩයාගේ යෝජනාව පාපයය; නින්දාකරන්නාද මනුෂ්‍යයන්ට පිළිකුලක්ය. නුඹ විපත්ති දවසේදී කලකිරෙන්නෙහි නම් නුඹේ ශක්තිය අල්පය. මරණයට ගෙනයනු ලබන්නන් ගළවාගන්න, මරනු ලබන්ට වෙවුලමින් යන්නන්ද මුදාලන්ට බලාගන්න. අපි මෙය නොදත්තෙමුයයි නුඹ කියන්නෙහිනම්, සිත් කිරාබලන තැනන්වහන්සේ එය නොබලනසේක්ද? නුඹේ ප්‍රාණය ආරක්ෂාකරන තැනන්වහන්සේ එය නොදන්නාසේක්ද? උන්වහන්සේ ඒ ඒ මනුෂ්‍යයාට තම තමාගේ ක්‍රියාවේ හැටියට විපාක නොදෙනසේක්ද? මාගේ පුත්‍රය, මීපැණි හොඳ බැවින් ඒවාද නුඹේ දිවට මිහිරිවූ මීවදයේ පැණිද කන්න. නුඹේ ප්‍රාණය උදෙසා ප්‍රඥාව එසේම බව දැනගන්න; එය නුඹට සම්බවුණොත් විපාකයක් ලැබෙන්නේය, නුඹේ බලාපොරොත්තුවද සිඳදමනු නොලබන්නේය. දුෂ්ට මනුෂ්‍යය, ධර්මිෂ්ඨයාගේ නිවසෙට විරුද්ධව රැක නොසිටින්න; ඔහුගේ වාසස්ථානය කොල්ලනොකන්න. මක්නිසාද ධර්මිෂ්ඨයා සත් වරක් වැටුණත් නැගිටින්නේය; නුමුත් දුෂ්ටයෝ විපත්තිය කරණකොටගෙන වැටීයන්නෝමය. නුඹේ සතුරා වැටෙන කල ප්‍රීතිනොවන්න; ඔහු පැකිලී වැටෙන කලද නුඹේ සිත ප්‍රීතිමත් නොවේවා. නැත්නම් සමහරවිට ස්වාමීන්වහන්සේ ඒ දැක නොසතුටුව, තමන් උදහස ඔහු කෙරෙන් පහකරනසේක. නපුර කරන්නන් නිසා කලනොකිරෙන්න; දුෂ්ටයන්ට ඊර්ෂ්‍යා නොවෙන්න. මක්නිසාද නපුරාට හොඳ විපාකයක් නැත්තේය; දුෂ්ටයන්ගේ පහන නිවීයයි. මාගේ පුත්‍රය, ස්වාමීන්වහන්සේ ත් රජුටත් භයවෙන්න; වෙනස්වන සුලු අය සමඟ සමාගම් නොපවත්වන්න. මක්නිසාද ඔවුන්ගේ විපත්තිය හදිසියෙන් පැමිණෙයි; ඒ දෙදෙනාගෙන් පැමිණෙන විනාශය දන්නේ කවුද?