හිතෝපදේශ 19:8-23

හිතෝපදේශ 19:8-23 SROV

ප්‍රඥාව ලබාගන්නා තමාගේ ආත්මයට ප්‍රේමවන්නේය; ඥානය තබාගන්නාට ශුභසිද්ධවේ. බොරු සාක්ෂිකාරයා දඬුවම් නොලැබ නොසිටියි; මුසාවාද නික්මවන්නාද නැතිවෙයි. සැප ජීවිකාව අඥානයෙකුට නොහොබනේය; ඊට වඩා, මෙහෙකරුවෙක් අධිපතීන් කෙරෙහි ආණ්ඩුකිරීම නොහොබනේය. සිහි කල්පනාව ඇති මනුෂ්‍යයා ඉක්මනට නොකිපෙයි; වරදක් නොසලකා හැරීමද ඔහුගේ ගෞරවයක්ය. රජුගේ උදහස සිංහයෙකුගේ ගර්ජනාවට සමානය; එහෙත් ඔහුගේ කරුණාව තෘණ පිට පිනි මෙන්ය. අඥාන පුත්‍රයෙක් ඔහුගේ පියාට විපත්තියක්ය; භාර්යාවකුගේ තරඟද නොනවතින වතුර බින්දු වැටීමක්ය. ගෙයක් හා සම්පත් පියවරුන්ගෙන් ලැබෙන උරුමයක්ය; නුමුත් නුවණින් හැසිරෙන භාර්යාවක් ලැබෙන්නේ ස්වාමීන්වහන්සේගෙන් ය. අලසකම තද නින්දට පමුණුවයි; කම්මැළි තැනැත්තේ බඩගිනි විඳියි. ආඥාව රක්ෂාකරන්නා තමාගේ ප්‍රාණය ආරක්ෂාකරගන්නේය; එහෙත් තමාගේ මාර්ග ගැන නොසලකන්නා නසින්නේය. දුප්පතුන්ට අනුකම්පාකරන්නා ස්වාමීන්වහන්සේට ණයට දෙන්නේය; ඔහුගේ හොඳ ක්‍රියාවට උන්වහන්සේ ඔහුට ප්‍රතිඵලදෙනසේක. බලාපොරොත්තුවක් ඇති බැවින් නුඹේ පුත්‍රයාට දඬුවම්කරන්න; නුමුත් ඔහු නැතිකරන්ට කල්පනා නොකරන්න. අධික තරහකාරයා දඬුවම විඳින්නේය; මක්නිසාද නුඹ ඔහු මිදුවත් නැවත නැවතත් එසේ කරන්ට ඕනෑ වෙයි. නුඹේ මතු කාලයෙහි නුඹ ප්‍රඥාවන්තව සිටින පිණිස මන්ත්‍රණය අසා ගුරුකම පිළිගන්න. මනුෂ්‍යයෙකුගේ සිතේ බොහෝ යෝජනා ඇත්තේය; එහෙත් ස්ථිරවෙන්නේ ස්වාමීන්වහන්සේගේ මන්ත්‍රණයය. මනුෂ්‍යයෙකුගේ ප්‍රිය ගතිය ඔහුගේ කරුණාවන්තකමය; බොරුකාරයෙකුට වඩා දිළින්දෙක් උතුම්ය. ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීම ජීවනයට පමුණුවයි; එය ඇත්තා තෘප්තියට පැමිණ, විපතට අසු නොවී සිටියි.