හිතෝපදේශ 19:1-14

හිතෝපදේශ 19:1-14 SROV

වංචාකාර තොල් ඇති අඥානයෙකුට වඩා තමාගේ අවංකකමෙන් හැසිරෙන දිළින්දා උතුම්ය. දැනගැන්ම නැතිව සිටීම ආත්මයට හොඳ නැත; තමාගේ පාදවලින් ඉක්මන්වෙන්නා වරදට වැටෙන්නේය. මනුෂ්‍යයෙකුගේ මෝඩකම ඔහුගේ මාර්ගය පෙරළයි; එවිට ඔහුගේ සිත ස්වාමීන්වහන්සේට විරුද්ධව කිපෙයි. වස්තුව බොහෝ මිත්‍රයන් එකතුකරදෙයි; එහෙත් දිළින්දාගේ මිත්‍රයා ඔහුගෙන් වෙන්වෙයි. බොරු සාක්ෂිකාරයා දඬුවම් නොලැබ නොසිටියි; මුසාවාද නික්මවන්නා නිදහස් නොවන්නේය. බොහෝදෙනෙක් ත්‍යාගවන්ත අයගේ හොඳ හිත ලබාගන්නට සොයති; තෑගි දෙන මනුෂ්‍යයාට කවුරුත් මිත්‍රයෝය. දිළින්දාගේ සියලු සහෝදරයෝ ඔහුට වෛරවෙති; ඔහුගේ මිත්‍රයෝ කොපමණ වැඩියෙන් ඔහුගෙන් දුරු නොවෙද්ද? ඔහු ඔවුන්ගේ කීම් පස්සේ දුවයි, එහෙත් ඔවුන් නැත. ප්‍රඥාව ලබාගන්නා තමාගේ ආත්මයට ප්‍රේමවන්නේය; ඥානය තබාගන්නාට ශුභසිද්ධවේ. බොරු සාක්ෂිකාරයා දඬුවම් නොලැබ නොසිටියි; මුසාවාද නික්මවන්නාද නැතිවෙයි. සැප ජීවිකාව අඥානයෙකුට නොහොබනේය; ඊට වඩා, මෙහෙකරුවෙක් අධිපතීන් කෙරෙහි ආණ්ඩුකිරීම නොහොබනේය. සිහි කල්පනාව ඇති මනුෂ්‍යයා ඉක්මනට නොකිපෙයි; වරදක් නොසලකා හැරීමද ඔහුගේ ගෞරවයක්ය. රජුගේ උදහස සිංහයෙකුගේ ගර්ජනාවට සමානය; එහෙත් ඔහුගේ කරුණාව තෘණ පිට පිනි මෙන්ය. අඥාන පුත්‍රයෙක් ඔහුගේ පියාට විපත්තියක්ය; භාර්යාවකුගේ තරඟද නොනවතින වතුර බින්දු වැටීමක්ය. ගෙයක් හා සම්පත් පියවරුන්ගෙන් ලැබෙන උරුමයක්ය; නුමුත් නුවණින් හැසිරෙන භාර්යාවක් ලැබෙන්නේ ස්වාමීන්වහන්සේගෙන් ය.

මෙයට අදාළ වීඩියෝ