හිතෝපදේශ 14

14
1ඥානවන්ත ස්ත්‍රී තොමෝ තම ගෙය#14:1 එනම්, පවුල. ‍ ගොඩනගන්නීය;
එහෙත් අඥාන තැනැත්තී තමාගේම අත්වලින් ඒක කඩාදමයි.
2තමාගේ සෘජුකමෙන් හැසිරෙන්නා ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවෙන්නේය;
එහෙත් වංක මාර්ග ඇත්තා උන්වහන්සේ සුළුකොට සලකන්නේය.
3මෝඩයාගේ මුඛයෙහි උඩඟුකම නමැති ඉපලක් ඇත්තේය;
එහෙත් ප්‍රඥාවන්තයන්ගේ තොල් ඔවුන් ආරක්ෂා කරයි.
4ගවයන් නැති ගාල පවිත්‍රය;
එහෙත් ගොනාගේ ශක්තියෙන් බොහෝ අස්වැන්න ලැබේ.
5විශ්වාස සාක්ෂිකාරයෙක් බොරු නොකියයි;
එහෙත් බොරු සාක්ෂිකාරයා බොරු නික්මවයි.
6නින්දාකරන්නා ප්‍රඥාව සොයන නුමුත් එය සම්බ නොවන්නේය;
එහෙත් නුවණ ඇත්තාට දැනගැන්ම පහසුය.
7අඥානයා ඉදිරියට යන්න, එවිට ඔහුට දැනගැනීමේ තොල් නැති බව නුඹට පෙනෙන්නේය.
8බුද්ධිමත් අයගේ ප්‍රඥාව නම් තමාගේ මාර්ගය තේරුම්ගැනීමය;
එහෙත් අඥානයන්ගේ මෝඩකම වංචාවය.
9මෝඩයෝ වරද ගැන සරදම්කෙරෙති;
එහෙත් අවංකයන් අතරේ දේව කරුණාව ඇත්තේය.
10සිත තමාගේම ශෝකය දනියි;
එහි ප්‍රීතියට අන්‍යයෙක් මැදි නොවෙයි.
11දුෂ්ටයන්ගේ ගෙය හෙළාදමනු ලබන්නේය;
එහෙත් අවංක අයගේ කූඩාරම සඵලවන්නේය.
12මනුෂ්‍යයෙකුට හරිව පෙනෙන මාර්ගයක් ඇත;
එහෙත් එහි කෙළවරෙහි මරණයේ මාර්ග තිබේ.
13සිනාසීමේදී පවා සිතේ කනගාටු තිබේ;
ප්‍රීතියේ කෙළවරද ශෝකයය.
14සිතින් පසුබටවෙන්නා තමාගේම මාර්ගවලින්ද යහපත් මනුෂ්‍යයා තමාගේම පැවැත්මෙන්ද තෘප්තියට පැමිණෙයි.
15නුවණ නැත්තා හැම වචනම විශ්වාස කරයි;
එහෙත් බුද්ධිමත් මනුෂ්‍යයා තමාගේ පියවර හොඳට බලාගනියි.
16ප්‍රඥාවන්තයා භයව නපුරෙන් ඉවත්වෙයි;
එහෙත් අඥානයා උඩඟුකම් පාමින් සැක නැතුව සිටියි.
17ඉක්මනින් කිපෙන්නා අඥානලෙස ක්‍රියාකරයි;
දුෂ්ට උපා යොදන්නාද වෛරය ලබයි.
18නුවණ නැත්තන්ට මෝඩකම උරුම වන්නේය;
එහෙත් බුද්ධිමත්හු දැනගැන්ම නමැති ඔටුන්න පැළඳගනිති.
19නපුරෝ යහපතුන් ඉදිරියෙහිද දුෂ්ටයෝ ධර්මිෂ්ඨයාගේ දොරටු ළඟද වැඳ වැටෙති.
20දිළින්දාට තමාගේ අසල්වාසියා පවා වෛරකරයි;
එහෙත් වස්තුකාරයාට මිත්‍රයෝ බොහෝය.
21තමාගේ අසල්වාසියා හෙළාදකින්නා පව්කරන්නේය;
එහෙත් දුප්පතුන්ට අනුකම්පාකරන්නා වාසනාවන්තයෙක්ය.
22නපුර යොදන්නන් වරද්දාගන්නවා නොවේද? එහෙත් යහපත යොදන්නන්ට කරුණාවද සැබෑකමද ලැබෙන්නේය.
23සියලු වැඩවලින් ලාභ උපදියි;
එහෙත් තොල්වල කථාවෙන් පැමිණෙන්නේ හිඟකම පමණක්ය.
24ප්‍රඥාවන්තයන්ගේ වස්තුව ඔවුන්ට ඔටුන්නක්ය;
එහෙත් අඥානයන්ගේ උතුම්කම නම් මෝඩකමය.
25සැබෑ සාක්ෂිකාරයෙක් ප්‍රාණ ගළවන්නේය;
එහෙත් බොරු කියන්නෙක් වංචාව නික්මවයි.
26 ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීමෙන් බලවත් නිසැකකමක් තිබේ;
එසේ භයවන්නන්ගේ දරුවන්ට රක්ෂාස්ථානයක් ලැබේ.
27 ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීම මරහුගේ මලපත්වලින් මිදීමට ජීවන උල්පතක්ය.
28රජුගේ මහන්තත්වය නම් සෙනඟ රාශියක් ඇතිවීමය;
එහෙත් සෙනඟ අඩුකම අධිපතියාට හානියක්ය.
29කෝපයට ප්‍රමාදවන්නා බොහෝ නුවණැත්තෙක්ය;
එහෙත් ඉක්මනින් කිපෙන්නා මෝඩකම මතුකරන්නේය.
30මාංසයේ සනීපය නම් නිශ්චල සිතක්ය;
එහෙත් ඊර්ෂ්‍යාව ඇටවලට දිරවීමක්ය.
31දුප්පතාට පීඩාකරන්නා ඔහුගේ මැවුම්කාරයාණන්ට නින්දාකරන්නේය;
එහෙත් දිළිඳාට කරුණාකරන්නා උන්වහන්සේට ගෞරවකරන්නේය.
32දුෂ්ටයා තමාගේ නපුරු ක්‍රියාවේදී හෙළාදමනු ලබයි;
එහෙත් ධර්මිෂ්ඨයාට මරණයේදී ආරක්ෂාස්ථානයක් ඇත්තේය.
33නුවණ ඇත්තාගේ සිතෙහි ප්‍රඥාව පවතියි;
එහෙත් අඥානයන් තුළ තිබෙන දේ ප්‍රකාශවේ.
34ධර්මිෂ්ඨකම ජාතියක් උසස්කරයි;
එහෙත් කවර සෙනඟකට වුවත් පාපය නින්දාවක්ය.
35රජුගේ ප්‍රසන්නකම නුවණින් හැසිරෙන සේවකයා කෙරෙහිය;
එහෙත් ලජ්ජාව උපදවන්නාට ඔහුගේ උදහස පැමිණේ.

දැනට තෝරාගෙන ඇත:

හිතෝපදේශ 14: SROV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න