ගණන් කථාව 7:42-89

ගණන් කථාව 7:42-89 SROV

හවෙනි දවසේදී දෙවුයෙල්ගේ පුත්‍රවූ ගාද් පුත්‍රයන්ගේ අධිපතියාවූ එලියාසාප්ය. ඔහුගේ පඬුර නම් ශුද්ධස්ථානයේ ෂෙකෙලේ හැටියට ෂෙකෙල් එකසිය තිහක් බර ඇති එක රිදී තැටියක් සහ ෂෙකෙල් සැත්තෑවක් බර ඇති එක රිදී තාලියකුත්ය; ඒ දෙකම ආහාර පූජාවක් පිණිස තෙල් මිශ්‍රවූ සිහින් පිටිවලින් පිරී තිබුණේය; සුගන්ධ ද්‍රව්‍යවලින් පිරී තිබුණාවූ ෂෙකෙල් දසයක් බර ඇති එක රන් පාත්‍රයක්ද; දවන පූජාවක් පිණිස එක තරුණ ගොනෙක්ද එක බැටළුවෙක්ද එක් අවුරුදු බැටළුපැටවෙක්ද; පාප පූජාවක් පිණිස එක එළුවෙක්ද; ශාන්ති පූජා යාගය පිණිස ගවයන් දෙන්නෙක්ද බැටළුවන් පස්දෙනෙක්ද එළුවන් පස්දෙනෙක්ද එක් අවුරුදු බැටළුපැටවුන් පස්දෙනෙක්ද යන මේය. දෙවුයෙල්ගේ පුත්‍රවූ එලියාසාප්ගේ පඬුර මේය. සත්වෙනි දවසේදී අම්මිහුද්ගේ පුත්‍රවූ එප්‍රායිම් පුත්‍රයන්ගේ අධිපතියාවූ එලිෂාමාය. ඔහුගේ පඬුරනම් ශුද්ධස්ථානයේ ෂෙකෙලේ හැටියට ෂෙකෙල් එකසිය තිහක් බර ඇති එක රිදී තැටියක් සහ ෂෙකෙල් සැත්තෑවක් බර ඇති එක රිදී තාලියකුත්ය; ඒ දෙකම ආහාර පූජාවක් පිණිස තෙල් මිශ්‍රවූ සිහින් පිටිවලින් පිරී තිබුණේය; සුගන්ධ ද්‍රව්‍යවලින් පිරී තිබුණාවූ ෂෙකෙල් දසයක් බර ඇති එක රන් පාත්‍රයක්ද; දවන පූජාවක් පිණිස එක තරුණ ගොනෙක්ද එක බැටළුවෙක්ද එක් අවුරුදු බැටළුපැටවෙක්ද; පාප පූජාවක් පිණිස එක එළුවෙක්ද; ශාන්ති පූජා යාගය පිණිස ගවයන් දෙන්නෙක්ද බැටළුවන් පස්දෙනෙක්ද එළුවන් පස්දෙනෙක්ද එක් අවුරුදු බැටළුපැටවුන් පස්දෙනෙක්ද යන මේය. අම්මිහුද්ගේ පුත්‍රවූ එලිෂාමාගේ පඬුර මේය. අටවෙනි දවසේදී පෙදාශූර්ගේ පුත්‍රවූ මනස්සේ පුත්‍රයන්ගේ අධිපතියාවූ ගමාලියෙල්ය. ඔහුගේ පඬුරනම් ශුද්ධස්ථානයේ ෂෙකෙලේ හැටියට ෂෙකෙල් එකසිය තිහක් බර ඇති එක රිදී තැටියක් සහ ෂෙකෙල් සැත්තෑවක් බර ඇති එක රිදී තාලියකුත්ය; ඒ දෙකම ආහාර පූජාවක් පිණිස තෙල් මිශ්‍රවූ සිහින් පිටිවලින් පිරී තිබුණේය; සුගන්ධ ද්‍රව්‍යවලින් පිරී තිබුණාවූ ෂෙකෙල් දසයක් බර ඇති එක රන් පාත්‍රයක්ද; දවන පූජාවක් පිණිස එක තරුණ ගොනෙක්ද එක බැටළුවෙක්ද එක් අවුරුදු බැටළුපැටවෙක්ද; පාප පූජාවක් පිණිස එක එළුවෙක්ද; ශාන්ති පූජා යාගය පිණිස ගවයන් දෙන්නෙක්ද බැටළුවන් පස්දෙනෙක්ද එළුවන් පස්දෙනෙක්ද එක් අවුරුදු බැටළුපැටවුන් පස්දෙනෙක්ද යන මේය. පෙදාශූර්ගේ පුත්‍රවූ ගමාලියෙල්ගේ පඬුර මේය. නවවෙනි දවසේදී ගිදෙයොනිගේ පුත්‍රවූ බෙන්යමින් පුත්‍රයන්ගේ අධිපතියාවූ අබිදාන්ය. ඔහුගේ පඬුරනම් ශුද්ධස්ථානයේ ෂෙකෙලේ හැටියට ෂෙකෙල් එකසිය තිහක් බර ඇති එක රිදී තැටියක් සහ ෂෙකෙල් සැත්තෑවක් බර ඇති එක රිදී තාලියකුත්ය; ඒ දෙකම ආහාර පූජාවක් පිණිස තෙල් මිශ්‍රවූ පිටිවලින් පිරී තිබුණේය; සුගන්ධ ද්‍රව්‍යවලින් පිරී තිබුණාවූ ෂෙකෙල් දසයක් බර ඇති එක රන් පාත්‍රයක්ද; දවන පූජාවක් පිණිස එක තරුණ ගොනෙක්ද එක බැටළුවෙක්ද එක් අවුරුදු බැටළුපැටවෙක්ද; පාප පූජාවක් පිණිස එක එළුවෙක්ද; ශාන්ති පූජා යාගය පිණිස ගවයන් දෙන්නෙක්ද බැටළුවන් පස්දෙනෙක්ද එළුවන් පස්දෙනෙක්ද එක් අවුරුදු බැටළුපැටවුන් පස්දෙනෙක්ද යන මේය. ගිදෙයොනිගේ පුත්‍රවූ අබිදාන්ගේ පඬුර මේය. දසවෙනි දවසේදී අම්මිෂද්දයිගේ පුත්‍රවූ දාන් පුත්‍රයන්ගේ අධිපතියාවූ අහියෙසෙර්ය. ඔහුගේ පඬුරනම් ශුද්ධස්ථානයේ ෂෙකෙලේ හැටියට ෂෙකෙල් එකසිය තිහක් බර ඇති එක රිදී තැටියක් සහ ෂෙකෙල් සැත්තෑවක් බර ඇති එක රිදී තාලියකුත්ය; ඒ දෙකම ආහාර පූජාවක් පිණිස තෙල් මිශ්‍රවූ සිහින් පිටිවලින් පිරී තිබුණේය; සුගන්ධ ද්‍රව්‍යවලින් පිරී තිබුණාවූ ෂෙකෙල් දසයක් බර ඇති එක රන් පාත්‍රයක්ද; දවන පූජාවක් පිණිස එක තරුණ ගොනෙක්ද එක බැටළුවෙක්ද එක් අවුරුදු බැටළුපැටවෙක්ද; පාප පූජාවක් පිණිස එළුවෙක්ද; ශාන්ති පූජා යාගය පිණිස ගවයන් දෙන්නෙක්ද බැටළුවන් පස්දෙනෙක්ද එළුවන් පස්දෙනෙක්ද එක් අවුරුදු බැටළුපැටවුන් පස්දෙනෙක්ද යන මේය. අම්මිෂද්දයිගේ පුත්‍රවූ අහියෙසෙර්ගේ පඬුර මේය. එකළොස්වෙනි දවසේදී ඔක්‍රාන්ගේ පුත්‍රවූ ආෂෙර් පුත්‍රයන්ගේ අධිපතියාවූ පගීයෙල්ය. ඔහුගේ පඬුරනම් ශුද්ධස්ථානයේ ෂෙකෙලේ හැටියට ෂෙකෙල් එකසිය තිහක් බර ඇති එක රිදී තැටියක් සහ ෂෙකෙල් සැත්තෑවක් බර ඇති එක රිදී තාලියකුත්ය; ඒ දෙකම ආහාර පූජාවක් පිණිස තෙල් මිශ්‍රවූ සිහින් පිටිවලින් පිරී තිබුණේය; සුගන්ධ ද්‍රව්‍යවලින් පිරී තිබුණාවූ ෂෙකෙල් දසයක් බර ඇති එක රන් පාත්‍රයක්ද; දවන පූජාවක් පිණිස එක තරුණ ගොනෙක්ද එක බැටළුවෙක්ද එක් අවුරුදු බැටළු පැටවෙක්ද; පාප පූජාවක් පිණිස එක එළුවෙක්ද; ශාන්ති පූජා යාගය පිණිස ගවයන් දෙන්නෙක්ද බැටළුවන් පස්දෙනෙක්ද එළුවන් පස්දෙනෙක්ද එක් අවුරුදු බැටළුපැටවුන් පස්දෙනෙක්ද යන මේය. ඔක්‍රාන්ගේ පුත්‍රවූ පගීයෙල්ගේ පඬුර මේය. දොළොස්වෙනි දවසේදී ඒනාන්ගේ පුත්‍රවූ නප්තලී පුත්‍රයන්ගේ අධිපතියාවූ අහිරාය. ඔහුගේ පඬුරනම් ශුද්ධස්ථානයේ ෂෙකෙලේ හැටියට ෂෙකෙල් එකසිය තිහක් බර ඇති එක රිදී තැටියක් සහ ෂෙකෙල් සැත්තෑවක් බර ඇති එක රිදී තාලියකුත්ය; ඒ දෙකම ආහාර පූජාවක් පිණිස තෙල් මිශ්‍රවූ සිහින් පිටිවලින් පිරී තිබුණේය; සුගන්ධ ද්‍රව්‍යවලින් පිරී තිබුණාවූ ෂෙකෙල් දසයක් බර ඇති එක රන් පාත්‍රයක්ද; දවන පූජාවක් පිණිස එක තරුණ ගොනෙක්ද එක බැටළුවෙක්ද එක් අවුරුදු බැටළුපැටවෙක්ද; පාප පූජාවක් පිණිස එක එළුවෙක්ද; ශාන්ති පූජා යාගය පිණිස ගවයන් දෙන්නෙක්ද බැටළුවන් පස්දෙනෙක්ද එළුවන් පස්දෙනෙක්ද එක් අවුරුදු බැටළුපැටවුන් පස්දෙනෙක්ද යන මේය. ඒනාන්ගේ පුත්‍රවූ අහිරාගේ පඬුර මේය. පූජාසනය ආලේපකළ දවසේදී ඒක කැපකිරීමට ඉශ්‍රායෙල් අධිපතිවරුන්ගෙන් ලැබුණු දේවල් මේවාය. රිදී තැටි දොළොසක්ය, රිදී තාලි දොළොසක්ය, රන් පාත්‍රා දොළොසක්ය. එක එක රිදී තැටියේ බර ෂෙකෙල් එකසිය තිහක්ය, එක එක තාලියේ බර ෂෙකෙල් සැත්තෑවක්ය. ඒ සියලු රිදී බඩු ශුද්ධස්ථානයේ ෂෙකෙලේ හැටියට ෂෙකෙල් දෙදාස් හාරසියයක් විය; සුගන්ධ ද්‍රව්‍යවලින් පිරී තිබුණාවූ රන් පාත්‍රා දොළොසක්ය; ශුද්ධස්ථානයේ ෂෙකෙල් හැටියට එක එක පාත්‍රය ෂෙකෙල් දසයක්ය. පාත්‍රාවල මුළු රන් බර ෂෙකෙල් එකසිය විස්සක්ය. දවන පූජාව පිණිස සියලුම ගවයෝ ගොනුන් දොළොස්දෙනෙක්ය, බැටළුවන් දොළොස් දෙනෙක්ය, එක් අවුරුදු බැටළුපැටවුන් දොළොස්දෙනෙක්ය, උන් සමඟ ඔප්පුකළ ආහාර පූජාවය. පාප පූජාවක් පිණිස එළුවන් දොළොස් දෙනෙක්ය. ශාන්ති පූජා යාගය පිණිස සියලුම ගවයෝ ගොන් විසිහතරදෙනෙක්ය, බැටළුවන් සැටදෙනෙක්ය, එළුවන් සැටදෙනෙක්ය, එක් අවුරුදු බැටළුපැටවුන් සැටදෙනෙක්ය. පූජාසනය ආලේපකළ පසු එය කැපකිරීමේ පූජා මේවාය. මෝසෙස් උන්වහන්සේ සමඟ කථාකරන පිණිස සම්මුඛවීමේ කූඩාරමට ඇතුල් වන කල, සාක්ෂි පෙට්ටිය පිට තිබුණු කරුණාසනය උඩ සිට කෙරුබ්වරුන් දෙදෙනාට අතරෙන් තමාට කථාකරන හඬ ඔහුට ඇසුණේය. ඔහුද උන්වහන්සේට කථාකළේය.

ගණන් කථාව 7:42-89 සඳහා වීඩියෝව