ගණන් කථාව 22:15-22

ගණන් කථාව 22:15-22 SROV

බාලාක් ගණනින් ඔවුන්ට වැඩිවූ ඔවුන්ට වඩා ගරුතරවූ අධිපතීන් නැවත යැවීය. ඔව්හු බාලාම් වෙතට අවුත් කියන්නෝ: ශිප්පෝර්ගේ පුත්‍රවූ බාලාක් මෙසේ කියයි: නුඹ මා වෙතට ඊමට කිසිවකින් නුඹට බාධාවක් නොවේවා. මක්නිසාද මම නුඹ ඉතා මහත් ගෞරවයට පමුණුවන්නෙමි, නුඹ මට කියන කොයි දෙයක් නුමුත් කරන්නෙමි. එබැවින් අවුත් මේ සෙනඟට මා උදෙසා ශාපකරන ලෙස නුඹෙන් ඉල්ලමියි කියන්නේයයි ඔහුට කීවෝය. බාලාම් බාලාක්ගේ සේවකයන්ට උත්තරදෙමින්: බාලාක් තමාගේ ගෙය පුරවා රන් රිදී මට දෙතත් අඩුව හෝ වැඩිව හෝ කරන්ට මාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ වචනය ඉක්මවා යා නොහැක්කෙමි. එබැවින් ස්වාමීන්වහන්සේ තවත් මට කියන්නේ කිමෙක්දැයි මා දැනගන්නා පිණිස නුඹලාත් අද රාත්‍රියේ මෙහි සිටින්නැයි කීවේය. දෙවියන්වහන්සේ රාත්‍රියෙහි බාලාම් වෙතට අවුත් ඔහුට කථාකොට: ඒ මනුෂ්‍යයෝ නුඹ කැඳවන පිණිස අවුත් සිටිත්නම් නැගිට ඔවුන් සමඟ යන්න; එසේවී නුමුත් මා නුඹට කියන වචනය පමණක්ම කරන්නැයි කීසේක. බාලාම් උදය නැගිට තමාගේ කොටළුදෙන සූදානම්කොට මෝවබ්හි අධිපතීන් සමඟ ගියේය. ඔහු ගිය නිසා දෙවියන්වහන්සේගේ උදහස ඇවුළුණේය. ස්වාමීන්වහන්සේගේ දූතයා ඔහුට විරුද්ධකාරයෙක්ව මාර්ගයෙහි සිටගත්තේය. ඔහු තමාගේ කොටළුදෙන පිට නැගී උන්නේය, ඔහුගේ මෙහෙකරුවෝ දෙදෙනා ඔහු සමඟ සිටියෝය.

ගණන් කථාව 22:15-22 සඳහා වීඩියෝව