ගණන් කථාව 20:22-29
ගණන් කථාව 20:22-29 SROV
ඉශ්‍රායෙල් පුත්‍රයෝ එනම් මුළු සභාව කාදෙෂ්හි සිට ගමන්කොට හෝර් කන්දට පැමුණුණෝය. ස්වාමීන්වහන්සේ ඒදොම් දේශයේ සීමාව ළඟ හෝර් කන්දේදී මෝසෙස්ට හා ආරොන්ට කථාකොට: ආරොන් තමාගේ සෙනඟට එකතුවන්නේය. මක්නිසාද නුඹලා මෙරිබාහි වතුර ළඟදී මාගේ වචනයට විරුද්ධව කැරළිකාරව සිටිය බැවින් ඉශ්‍රායෙල් පුත්‍රයන්ට මා විසින් දුන් දේශයට ඔහු ඇතුල්නොවන්නේය. ආරොන් සහ ඔහුගේ පුත්‍රවූ එලෙයාසර් කැඳවාගන හෝර් කන්දට අවුත්, ආරොන්ගේ වස්ත්‍ර ඔහුගෙන් ගළවා ඔහුගේ පුත්‍රවූ එලෙයාසර්ට අන්දවන්න. ආරොන් එහිදී මැරී තමාගේ සෙනඟට එකතුවන්නේයයි කීසේක. මෝසෙස් ස්වාමීන්වහන්සේ අණකළ ලෙස කෙළේය. ඔව්හු මුළු සභාව ඉදිරියෙහි හෝර් කන්දට නැංගෝය. එවිට මෝසෙස් ආරොන්ගේ වස්ත්‍ර ඔහුගෙන් ගළවා ඔහුගේ පුත්‍රවූ එලෙයාසර්ට ඒවා ඇන්දෙවුවේය; ආරොන් එහි කන්ද මුදුනේදී මළේය. එවිට මෝසෙස් සහ එලෙයාසර් කන්දෙන් බැස්සෝය. මුළු සභාව එනම් මුළු ඉශ්‍රායෙල් වංශය ආරොන් මළ බව දුටු කල ආරොන් ගැන තිස් දවසක් වැලපුණාහ.

