ශු. මතෙව් 7:1-14

ශු. මතෙව් 7:1-14 SROV

නුඹලා විනිශ්චයකරනු නොලබන පිණිස විනිශ්චය නොකරන්න. මක්නිසාද නුඹලා යම් විනිශ්චයකින් විනිශ්චයකරන්නහුද එයින්ම නුඹලාත් විනිශ්චයකරනු ලබන්නහුය. යම් මිම්මකින් නුඹලා මැනදෙන්නහුද එයින්ම නුඹලාටත් මැනදෙනු ලබන්නේය. නුඹේ ඇසේ තිබෙන දැවය නොසලකා, නුඹේ සහෝදරයාගේ ඇසේ තිබෙන රොඩ්ඩ කුමකට බලන්නෙහිද? නොහොත් නුඹේම ඇසේ දැවය තිබියදී, සහෝදරයාට කථාකොට: නුඹේ ඇසේ තිබෙන රොඩ්ඩ පහකරන්ට අවසර දෙන්නැයි ඔහුට කෙසේ කියන්නෙහිද? වංචාකාරය, පළමුකොට නුඹේ ඇසෙන් දැවය පහකරන්න; එවිට නුඹේ සහෝදරයාගේ ඇසෙන් රොඩ්ඩ පහකරන්ට ඔබට හොඳ හැටි පෙනෙන්නේය. ශුද්ධ දේ බල්ලන්ට නොදෙන්න, නුඹලාගේ මුතු ඌරන් ඉදිරියෙහි නොදමන්න, සමහරවිට උන් ඒවා පයින් පාගා හැරී නුඹලා ඉරාදමන්ට පුළුවන. ඉල්ලන්න, එවිට නුඹලාට දෙනුලැබේ; සොයන්න, එවිට නුඹලාට සම්බවේ; තට්ටුකරන්න, එවිට නුඹලාට දොර හරිනු ලැබේ. මක්නිසාද ඉල්ලන්නාවූ සියල්ලන්ට ලැබේ; සොයන්නාට සම්බවේ; තට්ටුකරන්නාට දොර හරිනු ලැබේ. නුඹලා අතරෙන් කවර මනුෂ්‍යයෙක් තමාගේ පුත්‍රයා රොටියක් ඉල්ලන්නේ නම්, ඔහුට ගලක් දේද? නොහොත් ඔහු මත්ස්‍යයෙකු ඉල්ලන්නේ නම්, ඔහුට සර්පයෙකුදේද? මෙසේ නපුරුවූ නුඹලා නුඹලාගේ දරුවන්ට යහපත් දේ දෙන්ට දන්නහු නම්, කොපමණ වැඩියෙන් ස්වර්ගයෙහි සිටින නුඹලාගේ පියාණන්වහන්සේ තමන්වහන්සේගෙන් ඉල්ලන්නන්ට යහපත් දේ නොදෙනසේක්ද? එබැවින් මනුෂ්‍යයන් විසින් නුඹලාට යමක් යමක් කරනවාට නුඹලා කැමතිද නුඹලාත් එසේම ඔවුන්ට කරන්න. ව්‍යවස්ථාවත් අනාගත වාක්‍යයත් මේය. පටු දොරටුවෙන් ඇතුල්වෙන්න. මක්නිසාද විනාශයට යන දොරටුව විශාලය, පාරත් පළලය, එයින් ඇතුල්වන්නෝද බොහෝය. මක්නිසාද ජීවනයට යන දොරටුව පටුය, පාර අවහිරය, ඒක සම්බවන්නේ ස්වල්ප දෙනෙකුටය.

ශු. මතෙව් 7:1-14 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය