ශු. මතෙව් 2:16-23
ශු. මතෙව් 2:16-23 SROV
එකල හෙරොද් ශාස්ත්‍රවන්තයන් විසින් තමා රවටනු ලැබූ බව දැක, ඉතා උදහස්ව, ඔවුන්ගෙන් හරියාකාර දැනගත් කාලයේ හැටියට, මනුෂ්‍යයන් යවා, බෙත්ලෙහෙම්හිද එහි සියලු සීමාවලද සිටි දෑවුරුදු වයස්වූද ඊට බාලවූද සියලු පිරිමි දරුවන් මැරෙවුවේය. එකල: හැඬීමේද බොහෝ වැලපීමේද හඬක් රාමාහි ඇසුණේය; රාඛෙල් ඇගේ දරුවන් ගැන අඬමින්, ඔවුන් නැති නිසා සැනසෙන්ට නොකැමතිවූවායයි අනාගතවක්තෘවූ යෙරෙමියා කරණකොටගෙන කියනලද කාරණාව සම්පූර්ණවිය. නුමුත් හෙරොද් මැරුණායින් පසු, බලව, ස්වාමීන්වහන්සේගේ දූතයෙක් මිසරයෙහිදී ස්වප්නයකින් යෝසෙප්ට පෙනී: නැගිට ළදරුවාද උන්වහන්සේගේ මෑණියන්ද රැගෙන ඉශ්‍රායෙල් දේශයට යන්න. මක්නිසාද ළදරුවාගේ ජීවිතය නසන්ට සෙවූ අය මළෝයයි කීවේය. එවිට ඔහු නැගිට ළදරුවාද උන්වහන්සේගේ මෑණියන්ද රැගෙන ඉශ්‍රායෙල් දේශයට ආවේය. එහෙත් අර්කෙලාවුස් තමාගේ පියවූ හෙරොද් වෙනුවට යුදය කෙරෙහි රජකම්කරන බව ඔහු අසා, එහි යන්ට භයව, දෙවියන්වහන්සේ විසින් ස්වප්නයකින් දන්වනු ලැබ, ගලීලයේ පළාත්වලට ගොස්, නාසරෙත් නම් නුවරට පැමිණ, එහි වාසයකෙළේය. මෙසේ වූයේ: උන්වහන්සේ නාසරියයෙක්යයි කියනු ලබනසේකැයි අනාගතවක්තෘවරුන් කරණකොටගෙන කියනලද කාරණාව සම්පූර්ණවන පිණිසය.

