ලෙවී කථාව 4:13-21

ලෙවී කථාව 4:13-21 SROV

මුළු ඉශ්‍රායෙල් සභාව වැරදි දෙයක් කළොත්, ඒ දෙය සමූහයාගේ ඇස් ඉදිරියෙන් සැඟවී තිබේ නම්, නොකටයුතුයයි ස්වාමීන්වහන්සේ අණකළ දේවලින් යමක් කොට ඔව්හු වැරදිකාරයෝ වූවෝනම්, ඔවුන් කළ පාපය දැනගත් කල සමූහයා පාප පූජාවක් පිණිස ගොන් නාම්බෙකු ඔප්පුකර ඌ සම්මුඛවීමේ කූඩාරම ඉදිරියට ගෙනා යුතුය. සභාවේ වැඩිමහල්ලෝ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි තමන්ගේ අත් ගොනාගේ හිස පිට තැබිය යුතුය. තවද ගොනා ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි මරනු ලබන්නේය. ආලේපලත් පූජකයා ගොනාගේ ලෙයෙන් මඳක් සම්මුඛවීමේ කූඩාරම ළඟට ගෙනවුත්, තමාගේ ඇඟිල්ල ලෙයෙහි ගල්වා ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි තිරය ඉදිරිපිට සත් වරක් එය ඉසිය යුතුය. තවද ඔහු ලෙයින් මඳක් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සම්මුඛවීමේ කූඩාරමේ තිබෙන පූජාසනයේ අං පිට ගා සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ළඟ තිබෙන දවන පූජාසනය මුල ඉතිරි ලේ සියල්ල වත්කළ යුතුය. ඔහු උගේ තෙල සියල්ලම අහක්කොට ඒවා පූජාසනය පිට දැවිය යුතුය. ඔහු ගොනාට මෙලෙස කළ යුතුය; පාප පූජාවේ ගොනාට කළාක් මෙන් මේ ගොනාටත් කළයුතුය. මෙසේ පූජකයා ඔවුන් උදෙසා සමගිකමක් කරන්නේය, එවිට ඔව්හු ක්ෂමාකරනු ලබන්නෝය. ඔහු ඒ ගොනා කඳවුරෙන් පිටතට ගෙනගොස් ප්‍රථම ගොනා දැවුවාක් මෙන් ඌ දැවිය යුතුය. එය සමූහයා උදෙසා පාප පූජාවය.