ලෙවී කථාව 27:1-10
ලෙවී කථාව 27:1-10 SROV
ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට කියනසේක්: ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකොට මෙසේ කියන්න–මනුෂ්‍යයෙක් භාරයක් ඉෂ්ටකරන කල භාරයට ඇතුළත් අයවල් නුඹ නියමකරන ගණනේ හැටියට ස්වාමීන්වහන්සේට අයිති වන්නෝය. විසි අවුරුද්ද පටන් සැට අවුරුද්ද දක්වා වයස් ඇති පුරුෂයෙක් ගැන නුඹේ නියමකිරීම ශුද්ධස්ථානයේ ෂෙකෙලේ හැටියට රිදී ෂෙකෙල් පනහක් වන්නේය. ස්ත්‍රියෙක් නම් නුඹේ නියමකිරීම ෂෙකෙල් තිසක් වන්නේය. පස් අවුරුද්ද පටන් විසි අවුරුද්ද දක්වා වයස් ඇති කෙනෙක් නම් පිරිමියෙක් ගැන නුඹේ නියමකිරීම ෂෙකෙල් විස්සක්ද ගෑනු කෙනෙක් ගැන ෂෙකෙල් දසයක්ද වන්නේය. මසක් පටන් පස් අවුරුද්ද දක්වා වයස් ඇති කෙනෙක්නම් පිරිමියෙක් ගැන නුඹේ නියමකිරීම රිදී ෂෙකෙල් පහක්ද ගෑනු කෙනෙක් ගැන නුඹේ නියමකිරීම රිදී ෂෙකෙල් තුනක්ද වන්නේය. සැට අවුරුද්ද පටන් වැඩි වයස් ඇති කෙනෙක් නම් පිරිමියෙක් ගැන නුඹේ නියමකිරීම ෂෙකෙල් පසළොසක්ද ගෑනු කෙනෙක් ගැන ෂෙකෙල් දසයක්ද වන්නේය. නුමුත් ඔහු නුඹ නියමකරන ගණනේ තරම ගෙවන්ට බැරි දිළින්දෙක් නම් පූජකයා ඉදිරිපිට සිටවනු ලැබිය යුතුය, පූජකයා ඔහුට ගණනක් නියම කෙරේවා; භාරයක්වූ තැනැත්තාගේ වත්කමේ ප්‍රකාරයට පූජකයා ඔහුට නියමකෙරේවා. මනුෂ්‍යයන් විසින් ස්වාමීන්වහන්සේට පූජාවක් ඔප්පුකිරීමට ගන්නාවූ මෘගයෙක් නම්, මනුෂ්‍යයෙකු ස්වාමීන්වහන්සේට දෙන්නාවූ එබඳු සියල්ලම ශුද්ධවන්නේය. ඔහු හොඳ එකෙකු නරක එකෙකුට හෝ නරක එකෙකු හොඳ එකෙකුට හෝ වෙනස් නොකළ යුතුය, මාරුනොකළ යුතුය. කොයි ආකාරයකින්වත් මෘගයෙකුට මෘගයෙකු මාරුකරන්නේනම් ඒකාද ඌට මාරුකළ එකාද ශුද්ධවන්නෝය.

