ජෝබ් 41

41
1කිඹුලා බිලිකටුවකින් අදින්ටවත් උගේ දිව ලනුවකින් පහත්කරන්ටවත් නුඹට පුළුවන්ද?
2උගේ නාසයේ වැල්පටක් දමන්ටවත් උගේ හක්ක උලකින් සිදුරු කරන්ටවත් නුඹට පුළුවන්ද?
3ඌ නුඹට බොහෝ කන්නලව් කරනවා ඇද්ද?
නොහොත් මෘදු වචන නුඹට කියනවා ඇද්ද?
4නුඹ හැම කලටම ඌ මෙහෙකරුවෙක් කොට ගන්න පිණිස ඌ නුඹ සමඟ ගිවිසුමක් කරනවා ඇද්ද?
5පක්ෂියෙකු සමඟ මෙන් නුඹ ඌ සමඟ සෙල්ලම්කරනවාද?
නොහොත් නුඹේ තරුණියන්ට ඌ බැඳ දෙනවාද?
6මසුන් අල්ලන්නෝ උගෙන් වෙළඳාම්කර, වෙළඳුන් අතරේ ඌ බෙදන්නෝද?
7උගේ හමට හෙල්ලවලින්වත් උගේ ඔළුවට මස් හෙල්ලවලින්වත් අනින්ට නුඹට පුළුවන්ද?
8නුඹේ අත ඌ පිට තබා, සටන සිහිකරන්න, තවත් එසේ නොකරන්න.
9අන්න, ඌ ගැන බලාපොරොත්තුවීම නිෂ්ඵලය.
යමෙක් ඌ දුටු පමණින් වැටෙනවා නොවේද?
10ඌ අවුස්සන තරමට ධෛර්ය ඇති කෙනෙක් නැත.
එසේ වීනම් මා ඉදිරියෙහි සිටින්ට පුළුවන් කාටද?
11පළමුකොට මට යමක් දුන්නේ කවුද?
දුන්නානම් ඔහුට ප්‍රතිඵල දෙන්නෙමි.
මුළු අහස යට තිබෙන සියල්ල මාගේය.
12උගේ ගාත්‍රාද බලයේ ශක්තියද නිසි ශරීර ලක්ෂණද ගැන නිශ්ශබ්දව නොසිටින්නෙමි.
13උගේ පිට වස්ත්‍රය ගළවන්ට කාට පුළුවන්ද?
උගේ දත් දෙපේළියට ළංවන්නේ කවුද?
14උගේ මුහුණේ දොරවල් අරින්ට පුළුවන් කාටද?
උගේ දත් අවටින් භීතිය තිබේ.
15තද මුද්‍රාවකින් වැසුවාක්මෙන්වූ උගේ ශක්තිමත් කොරපොතු උගේ පාරට්ටුවය.
16ඒවා අස්සට හුළඟ ඇතුල් නොවෙන හැටියට ඒවා එකිනෙකට යාව තිබේ.
17ඒවා එකිනෙකට ඇලී, වෙන්කරන්ට බැරි ලෙස එකිනෙකට සම්බන්ධව තිබේ.
18උගේ කිඹිසීම්වලින් එළියක් බබළයි;
උගේ ඇස් අලුයම නමැති ඇසිපිය වැනිය.
19උගේ කටින් ගිනිදැල් නික්මෙන්නේය, ගිනිපුපුරු පැනනගින්නේය.
20ලිපේ තිබෙන හැළියකින්ද දැවෙන කටාරමකින්ද මෙන් උගේ නාස්පුටවලින් දුම් නගින්නේය.
21උගේ හුස්මට අඟුරු පත්තුවෙන්නේය.
ගිනිදැලක්ද උගේ කටින් නික්මෙන්නේය.
22උගේ බෙල්ලෙහි බලය රඳා තිබේ, ඌ ඉදිරියෙහි භීතිය නටන්නේය.
23උගේ මස්පිඩු එකට ඇලී, නොසෙල්වෙන හැටියට ඌ පිට තදව තිබේ.
24උගේ සිත ගලක් මෙන් තදය;
එසේය, යට ඇඹරුම් ගල මෙන් තදය.
25ඌ නැගිටින කල බලවන්තයෝ භයපත්වී, අධික භය නිසා උමතුවෙති.
26කඩුවද හෙල්ලයද කුඩා හෙල්ලයද ඊතලයද ඇතුව ඌට විරුද්ධව පැමින්නත්, ඒවා නිෂ්ඵලවෙයි.
27යකඩ පිදුරු මෙන්ද පිත්තල දිරාගිය ලී මෙන්ද ඌ ගණන්ගන්නේය.
28ඊගස කෙරෙන් ඌ පලා නොයන්නේය;
පටියෙන් ගසන ගල් ඌට ඉපනැලිමෙන් වේ.
29පොලු ඉපනැල්ල මෙන් ඌ ගණන්ගන්නේය;
කුඩා හෙල්ලය සොලවන විට ඌ සිනාසෙන්නේය.
30උගේ යටිපැත්ත තියුණු කැබලිති වැනිය.
මඩින යන්ත්‍රයක් මෙන් ඌ මඩේ ඇදෙන්නේය.
31සැළියක වතුර මෙන් ඌ ගැඹුර නටවන්නේය.
මුහුද තෛලයක් මෙන් කරන්නේය.
32ඌ යන කල පස්සෙන් පාර දිලියෙන්නේය;
ගැඹුරට පැසුණු හිසකේ ඇතිවූවාක්මෙන් පෙනීයයි.
33ඌට සමාන එකෙක් භූමිය මතුපිට නැත;
භය නොගන්න හැටියට ඌ මවනු ලැබුවේය.
34ඌ උසස්ව තිබෙන සියල්ල බලන්නේය.
ඌ සියලු චණ්ඩ මෘගයන් කෙරෙහි රජ ව සිටින්නේයයි කීසේක.

දැනට තෝරාගෙන ඇත:

ජෝබ් 41: SROV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න