ජෝබ් 2:1-10

ජෝබ් 2:1-10 SROV

නැවතත් දෙවියන්වහන්සේගේ පුත්‍රයන් ස්වාමීන්වහන්සේ ඉදිරිපිට පෙනීසිටින්ට ආ කල්හි සාතන්ද ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි පෙනීසිටින්ට ඔවුන් අතරෙහි ආයේය. එවිට ස්වාමීන්වහන්සේ: නුඹ කොතැන සිට ආයෙහිදැයි සාතන්ගෙන් ඇසූසේක. සාතන් ස්වාමීන්වහන්සේට උත්තරදෙමින්: පොළොවෙහි ගමන්කොට ඔබ මොබ ඇවිද ආයෙමියි කීවේය. එවිට ස්වාමීන්වහන්සේ: නුඹ මාගේ මෙහෙකරුවූ යෝබ් ගැන කල්පනා කෙළෙහිද? ඔහු මෙන් නිර්දෝෂවූ, අවංකවූ, දෙවියන්වහන්සේ කෙරෙහි භය ඇත්තාවූ, නපුරෙන් වැලකී සිටින්නාවූ කෙනෙක් පොළොවෙහි නැත. කරුණක් නැතුව ඔහු නාස්තිකරන්ට නුඹ ඔහුට විරුද්ධව මා පෙළඹෙවු නුමුත්, ඔහු තමාගේ අවංකකම තවම පවත්වාගන සිටීයයි සාතන්ට කීසේක. සාතන් ස්වාමීන්වහන්සේට උත්තරදෙමින්: හම වෙනුවට හමත්, එසේය, තමාගේ ප්‍රාණය වෙනුවට තමාට ඇති සියල්ලත් මනුෂ්‍යයා දෙන්නේය. නුමුත් ඔබගේ අත දිගුකර ඔහුගේ ඇටවලටත් ඔහුගේ මාංසයටත් තැබුවොත්, ඔහු ඔබගේ මුහුණ ඉදිරියෙහිම ඔබට දොස් කියනවා ඇතැයි කීවේය. එවිට ස්වාමීන්වහන්සේ: බලව, ඔහු නුඹ අතෙහිය; නුමුත් ඔහුගේ ජීවිතය ඉතුරුකරන්නැයි සාතන්ට කීසේක. සාතන් ස්වාමීන්වහන්සේ ඉදිරියෙන් පිටතට ගොස් යෝබ්ගේ පතුල පටන් ඔහුගේ හිස් මුදුන දක්වා නපුරු ගඩු හටගැන්වීමෙන් ඔහුට පහරදුන්නේය. ඔහු තමාගේ ඇඟ කසාගන්ට කැබිලිත්තක් ගත්තේය; තවද ඔහු අලුවල හිඳගත්තේය. එවිට ඔහුගේ භාර්යාව: නුඹේ අවංකකම තවම පවත්වාගන ඉන්නවාද? දෙවියන්වහන්සේ අත්හැරදමා මැරෙවයි කීවාය. එහෙත් ඔහු ඈට කථාකොට: නුඹ අඥාන ස්ත්‍රීන්ගෙන් එක්කෙනෙක් කථාකරන්නාක් මෙන් කථාකෙරෙහිය. අපි දෙවියන්වහන්සේගේ අතින් යහපත පිළිගනිමු නම් අයහපතත් පිළිගන්ට ඕනෑ නොවේදැයි කීවේය. මේ සියල්ලේදී යෝබ් වචනින් පව්කළේ නැත.

ජෝබ් 2 කියවන්න