ශු. යොහන් 3:1-10

ශු. යොහන් 3:1-10 SROV

යුදෙව්වරුන්ගේ ප්‍රධානියෙක්වූ නිකොදේමුස් නම් ඵරිසියෙක් සිටියේය. හෙතෙම රාත්‍රියේ උන්වහන්සේ ළඟට ඇවිත්: රබ්බි, ඔබ දෙවියන්වහන්සේ කෙරෙන් ආවාවූ ගුරුවරයෙකැයි අපි දනිමුව. මක්නිසාද තමා සමඟ දෙවියන්වහන්සේ නැත්නම් ඔබ කරන්නාවූ මේ හාස්කම් කරන්ට කිසිවෙකුට නුපුළුවනැයි කීවේය. යේසුස්වහන්සේ උත්තරදෙමින්: සැබවක් සැබවක් නුඹට කියමි–යමෙක් අලුතෙන් නූපන්නොත් ඔහුට දෙවියන්වහන්සේගේ රාජ්‍යය දකින්ට නොහැකියයි ඔහුට කීසේක. නිකොදේමුස් උන්වහන්සේට කථාකොට: මනුෂ්‍යයෙක් මහලුව සිටියදී උපදින්ට පුළුවන් කොහොමද? දෙවෙනි වර මවුකුසට ඇතුල්ව උපදින්ට පුළුවන්දැයි උන්වහන්සේට කීවේය. යේසුස්වහන්සේ උත්තරදෙමින්: සැබවක් සැබවක් නුඹට කියමි–යමෙක් වතුරෙන්ද ආත්මයාණන්ගෙන්ද නූපන්නොත් ඔහුට දෙවියන්වහන්සේගේ රාජ්‍යයට ඇතුල්වෙන්ට බැරිය. මාංසයෙන් උපදින දේ මාංසයය; ආත්මයාණන්ගෙන් උපදින දේ ආත්මයය. නුඹලා අලුතෙන් උපදින්ට ඕනෑයයි මා කීවාට පුදුම නොවන්න. හුළඟ කැමති කැමති තැනට ගසයි, එහි ශබ්දය නුඹට ඇසෙයි, නුමුත් කොතැනින් එන්නේද කියාවත් කොතැනට යන්නේද කියාවත් නුඹ දන්නේ නැත. ආත්මයාණන්ගෙන් ඉපිද සිටින සියල්ලෝම එසේමයයි කීසේක. නිකොදේමුස් උත්තරදෙමින්: මේ දේ වෙන්ට පුළුවන් කොහොමදැයි උන්වහන්සේට කීවේය. යේසුස්වහන්සේ ඔහුට උත්තරදෙමින්: නුඹ ඉශ්‍රායෙල්හි ගුරුවරයාව සිටියදීත් මේ දේවල් දන්නේ නැද්ද?