ශු. යොහන් 10:14-27
ශු. යොහන් 10:14-27 SROV
මම යහපත් බැටළු එඬේරාය; පියාණන්වහන්සේ මා අඳුනන්නාක්මෙන්ද, මා පියාණන්වහන්සේ අඳුනන්නාක්මෙන්ද, මම මාගේ බැටළුවන් අඳුනමි. මාගේ බැටළුවෝද මා අඳුනති; බැටළුවන් උදෙසා මාගේ ප්‍රාණය දෙමි. තවද මේ ගාලට අයිති නොවූ වෙනත් බැටළුවෝ මට ඇත්තාහ. ඔවුන්ද මා විසින් ගෙනෙන්ට ඕනෑය, ඔව්හු මාගේ හඬ අසන්නෝය; එසේ එක රැළක්ද එක එඬේරෙක්ද වන්නාහ. මා විසින් නැවත ගන්නා පිණිස මාගේ ප්‍රාණය දෙන බැවින් මාගේ පියාණන්වහන්සේ මට ප්‍රේමකරනසේක. කිසිවෙක් ඒක මාගෙන් උදුරාගන්නවා නොව මමම ඒක දෙමි. ඒක දෙන්ට මට බලය තිබේ, නැවත ගන්ටද මට බලය තිබේ. මේ ආඥාව මාගේ පියාණන්වහන්සේගෙන් ලදිමියි කීසේක. මේ වචන නිසා යුදෙව්වරුන් අතරේ නැවත භේදයක් හටගත්තේය. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක්: ඔහු යක්ෂාවේශව උමතුව සිටියි; ඔහුට ඇහුම්කන්දෙන්නේ මක්නිසාදැයි කීවෝය. අන් සමහරෙක්: මේවා යක්ෂාවේශවූ කෙනෙකුගේ කීම් නොවෙයි. අන්ධයන්ගේ ඇස් පහදන්ට යක්ෂයෙකුට පුළුවන්දැයි කීවෝය. කැපකිරීමේ මංගල්‍යය යෙරුසලමේ විය. ඒ කාලය ශීත සෘතුවය; යේසුස්වහන්සේ දේවමාළිගාවේ සාලමොන්ගේ ද්වාරමණ්ඩපයේ සක්මන්කරමින් සිටිසේක. එබැවින් යුදෙව්වරු ඇවිත් උන්වහන්සේ අවටින් සිට: ඔබ කොපමණ කල් අප ශංකා පිට තබනසේක්ද? ඔබ ක්‍රිස්තුස් නම් පැහැදිලිලෙස අපට කිව මැනවයි උන්වහන්සේට කීවෝය. යේසුස්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: මම නුඹලාට කීමි, නුමුත් නුඹලා විශ්වාසකරන්නේ නැත. මාගේ පියාණන්වහන්සේගේ නාමයෙන් මා කරන ක්‍රියාම මා ගැන සාක්ෂිදෙති. නුඹලා මාගේ බැටළුවන් නොවන බැවින් විශ්වාසකරන්නේ නැත. මාගේ බැටළුවෝ මාගේ හඬ අසති, මමද ඔවුන් අඳුනමි, ඔව්හු මා පස්සේ එති.

