විනිශ්චයකාරයන්ගේ පොත 6:11-23

විනිශ්චයකාරයන්ගේ පොත 6:11-23 SROV

ස්වාමීන්වහන්සේගේ දූතයා ඇවිත් අබියෙශ්‍රීය යෝවාෂ්ට අයිතිවූ ඔප්‍රාහි තිබෙන අලෝන ගස යට හිඳගත්තේය. යෝවාෂ්ගේ පුත්‍රවූ ගිඩියොන් මිදියන්වරුන්ගෙන් තිරිඟු සඟවාගන්න පිණිස ඒවා මුද්‍රික යන්ත්‍රයෙහි මඩිමින් සිටියේය. ස්වාමීන්වහන්සේගේ දූතයා ඔහුට පෙනී: ධෛර්යමත් බලවත් මනුෂ්‍යය, ස්වාමීන්වහන්සේ නුඹ සමඟ සිටිනසේකැයි කීය. ගිඩියොන් ඔහුට කථාකොට: අහෝ මාගේ ස්වාමිනි, ස්වාමීන්වහන්සේ අප සමඟ සිටිනසේක් නම් මේ සියල්ල අපට සිද්ධවී තිබෙන්නේ මක්නිසාද? ස්වාමීන්වහන්සේ අප මිසරයෙන් ගෙනාවා නොවේද කියා අපේ පියවරුන් අපට කියාදුන් උන්වහන්සේගේ සියලු පුදුම ක්‍රියා කොයිද? දැන් නම් ස්වාමීන්වහන්සේ අප අත්හැරදමා මිදියන්වරුන් අතට අප පාවාදුන්සේකැයි කීවේය. ස්වාමීන්වහන්සේ ඔහු දෙස බලා: නුඹේ මේ බලවත්කමින් ගොස් මිදියන්වරුන් අතින් ඉශ්‍රායෙල් ගළවන්න. මා නුඹ යැවුවා නොවේදැයි කීසේක. ඔහු උන්වහන්සේට කථාකොට: අහෝ, ස්වාමිනි, කුමකින් මම ඉශ්‍රායෙල් ගළවාගනිම්ද? බැලුව මැනව, මාගේ පවුල මනස්සේහි ඉතා දිළිඳු පවුලය, මමද මාගේ පියාගේ ගෙයි ඉතාම කුඩා තැනැත්තා වෙමියි කීවේය. ස්වාමීන්වහන්සේ ද: සැබවින් මම නුඹ සමඟ සිටින්නෙමි, නුඹ එක්කෙනෙකුට මෙන් මිදියන්වරුන්ට පහරදෙන්නෙහියයි ඔහුට කීසේක. ඔහු උන්වහන්සේට කථාකොට: දැන් ඔබ ඉදිරියෙහි මට කරුණාව ලැබී තිබේනම්, ඔබ මා සමඟ කථාකරන බවට ලකුණක් මට පෙන්නුව මැනව. ඔබ වෙත මාගේ පූජාව ගෙනවුත් ඔබ ඉදිරියෙහි තබන තෙක් මෙතැනින් නොගිය මැනවයි කීවේය. උන්වහන්සේද: නුඹ හැරී එන තුරු මම නවතින්නෙමියි කීසේක. ගිඩියොන් ඇතුළට ගොස් එළුපැටියෙක්ද ඒඵාවක පිටිවලින් මුහුන් නොදැමූ රොටිද සූදානම්කොට, මස් පෙට්ටියක තබා, සොදි භාජනයක වත්කොට, අලෝන ගස යටට ගෙනවුත් උන්වහන්සේට ඔප්පුකෙළේය. දෙවියන්වහන්සේගේ දූතයා: මස් සහ මුහුන් නොදැමූ රොටි අරන් මේ ගල පිට තබා, සොදි වත්කරන්නැයි ඔහුට කීය. ඔහු එසේ කෙළේය. එවිට ස්වාමීන්වහන්සේගේ දූතයා තමාගේ අතේ තිබුණු සැරයටියේ අග දිගුකොට මස්වලටත් මුහුන් නොදැමූ රොටිවලටත් තට්ටු කෙළේය; එවිට පර්වතයෙන් ගිනි මතුවී මස්ද මුහුන් නොදැමූ රොටිද දවාදැමුවේය; ස්වාමීන්වහන්සේගේ දූතයා ඔහු ඉදිරියෙන් නොපෙනී ගියේය. ඒ ස්වාමීන්වහන්සේගේ දූතයා බව ගිඩියොන් දැක: අහෝ, ස්වාමිවූ දෙවියන්වහන්ස! මක්නිසාද මම ස්වාමීන්වහන්සේගේ දූතයා මුහුණට මුහුණලා දුටිමියි කීය. ස්වාමීන්වහන්සේ: නුඹට සමාදානය වේවා; භයනොවන්න. නුඹ නසින්නේ නැතැයි ඔහුට කීසේක.

විනිශ්චයකාරයන්ගේ පොත 6:11-23 සඳහා වීඩියෝව

විනිශ්චයකාරයන්ගේ පොත 6:11-23 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය