විනිශ්චයකාරයන්ගේ පොත 5:1-9

විනිශ්චයකාරයන්ගේ පොත 5:1-9 SROV

ඉක්බිති ඒ දවසේදී දෙබොරාද අබිනොවම්ගේ පුත්‍රවූ බාරාක්ද මෙසේ ගීතිකාකළෝය: අධිපතීන් ඉශ්‍රායෙල්හි මූලිකව ගිය බැවින්ද, සෙනඟ කැමැත්තෙන්ම ඉදිරියට ආ බැවින්ද, ස්වාමීන්වහන්සේට ප්‍රශංසා කරන්න. රජදරුවෙනි, අසන්න; අධිපතියෙනි, කන්දෙන්න; මම, එසේය, මම, ස්වාමීන්වහන්සේට ගී කියන්නෙමි; ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රශංසා ගී කියන්නෙමි. ස්වාමීන්වහන්ස, ඔබ සේයිර් සිට නික්මගිය කලද ඒදොම් පළාතේ සිට නැගී ආකලද පොළොව වෙවුලුවාය, අහසෙන් වැසි වැස්සේය, එසේය, වළාකුල්වලින් වතුර වෑස්සුණේය. කඳු ස්වාමීන්වහන්සේ ඉදිරියෙහිද අර සීනයි කන්ද ඉශ්‍රායෙල්වරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහිද දියව ගියේය. අනාත්ගේ පුත්‍රවූ ෂම්ගර්ගේ දවස්වලද යායෙල්ගේ දවස්වලද මාවත් හිස්ව තිබුණේය, මගීහුද අතුරු පාරවලින් ගියෝය. දෙබොරානම් මා නැගිටින තෙක්, මා ඉශ්‍රායෙල්හි මවක් ව නැගිටිනතෙක්, ඉශ්‍රායෙල්හි ප්‍රධානියෝ නැතුව සිටියෝය. නැතුවම සිටියෝය. ඔව්හු අමුතු දෙවිවරුන් තෝරා ගත්තෝය; එවිට යුද්ධය දොරටුවලට පැමුණුණේය. ඉශ්‍රායෙල්හි සතළිස් දහසක් අතරේ පලිහක්වත් හෙල්ලයක්වත් දකිනුලැබුයේද? සෙනඟ අතරෙන් කැමැත්තෙන්ම ඉදිරියට ආ ඉශ්‍රායෙල් ආණ්ඩුකාරයන් කෙරේ මාගේ සිත ඇලුම්වේ; ස්වාමීන්වහන්සේට ප්‍රශංසා කරන්න.

විනිශ්චයකාරයන්ගේ පොත 5:1-9 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය