විනිශ්චයකාරයන්ගේ පොත 16:22-30

විනිශ්චයකාරයන්ගේ පොත 16:22-30 SROV

එසේ වුවත් ඔහුගේ හිසකේ කපාදැමුවායින් පසු ඒවා නැවත වැඩෙන්ට පටන්ගත්තේය. පිලිස්තිවරුන්ගේ අධිපතීහු තමුන්ගේ දෙවිවූ දාගොන්ට මහත් පූජාවක් ඔප්පුකරන්ටත් ප්‍රීති වෙන්ටත් රැස්වූහ. මක්නිසාද: අපේ දෙවියෝ අපේ සතුරාවූ සම්සොන් අප අතට පාවාදුන්නායැයි ඔව්හු කීවෝය. සෙනඟ ඔහු දුටු කල තමුන්ගේ දෙවියන්ට ප්‍රශංසා කළෝය. මක්නිසාද: අපේ දෙවියෝ අපේ දේශය නාස්ති කළාවූ, අපෙන් බොහෝ දෙනෙකු මැරුවාවූ අපේ සතුරා අප අතට පාවාදුන්නායැයි ඔව්හු කීවෝය. ඔවුන්ගේ සිත් ප්‍රීතිමත්වූ කල: අපට ක්‍රීඩා පෙන්වන්ට සම්සොන්ට අඬගසන්නැයි කියා ඔව්හු හිරගෙයින් ඔහු අඬගස්වාගත්තෝය; ඔහු ඔවුන් ඉදිරියේ ක්‍රීඩා කෙළේය. ඔව්හු කුළුනු කණු අතරේ ඔහු සිටෙවුවෝය. සම්සොන් තමාගේ අත අල්වා සිටි යෞවනයාට කථාකොට: මේ ගෘහය පිහිටා තිබෙන කුළුනුවලට මා හාන්සිවෙන පිණිස ඒවායේ මාගේ අත තබා බලන්ට ඉඩහරින්නැයි කීවේය. ඒ ගෘහය පුරුෂයන්ගෙන්ද ස්ත්‍රීන්ගෙන්ද පිරී තිබුණේය. පිලිස්තිවරුන්ගේ සියලු අධිපතිවරුත් එහි සිටියෝය; පියස්ස උඩ ස්ත්‍රී පුරුෂයෝ තුන් දහසක් පමණ සම්සොන් ක්‍රීඩා පෙන්වනවා බලා සිටියෝය. සම්සොන් ස්වාමීන්වහන්සේට යාච්ඤාකොට: අනේ ස්වාමිවූ දෙවියන්වහන්ස, මා සිහිකළමැනව, අනේ දෙවියන්වහන්ස, මාගේ ඇස් දෙක ගැන මා විසින් පිලිස්තිවරුන්ගෙන් එකවරටම පළිගන්න පිණිස මේ වතාවේ පමණක් මා බලවත් කළ මැනවයි කීවේය. එවිට සම්සොන් ගෘහය ඉසුලුවාවූ මැද කුළුනු දෙක එකක් දකුණතින්ද එකක් වමතින්ද නමමින්: පිලිස්තිවරුන් සමඟ මමත් නසිම්වායි කියා තමාගේ මුළු ශක්තියෙන් නැඹුරුවුණේය; එවිට ගෘහය අධිපතිවරුන් සහ එහි සිටි මුළු සෙනඟ පිට වැටුණේය. මෙසේ ඔහු ජීවත්ව සිටියදී මැරූ අයට වඩා ඔහුගේ මරණයේදී මැරූ අය වැඩි වූහ.

මෙයට අදාළ වීඩියෝ

විනිශ්චයකාරයන්ගේ පොත 16:22-30 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය