විනිශ්චයකාරයන්ගේ පොත 16:1-21

විනිශ්චයකාරයන්ගේ පොත 16:1-21 SROV

සම්සොන් ගාසාට ගොස් එහි වේශ්‍යා ස්ත්‍රියක් දැක ඈ වෙත ගියේය. සම්සොන් මෙහි ඇවිත් ඉන්නේය කියා ගාසා වැසියන්ට දන්වන ලද්දේය. එවිට ඔව්හු ඔහු වටකොට ඔහු අල්ලන්ට නුවර දොරටුව ළඟ රාත්‍රිය මුළුල්ලෙහි රැක සිටියෝය. ඔව්හු කථාකොට: පහන්වනතුරු සිටියාවේ, එවිට ඔහු මරන්නෙමුව කියා රාත්‍රිය මුළුල්ලෙහි නිශ්චලව සිටියෝය. සම්සොන් මධ්‍යම රාත්‍රිය දක්වා නිදාහිඳ, මධ්‍යම රාත්‍රියේ නැගිට, නුවර දොරටුවේ දොරවලුත් උළුවහු කණු දෙකත් අගුල් ආදියත් සමඟ උගුලා කරපිට තබාගෙන, හෙබ්‍රොන් ඉදිරිපිට තිබෙන කන්ද මුදුනට ගියේය. ඉන්පසු ඔහු සොරෙක් මිටියාවතෙහි සිටියාවූ දෙලීලා නම් ස්ත්‍රියෙකුට ආදරේවිය. පිලිස්තිවරුන්ගේ අධිපතිවරු ඈ ළඟට අවුත් ඈට කථාකොට: නුඹ ඔහු පොළඹවාගන ඔහුගේ මහත් ශක්තිය තිබෙන්නේ කොතැන්හිද කියාත් අප විසින් ඔහුට පීඩාකිරීමට ඔහු බඳින පිණිස ඔහු දමනයකරන්ට පුළුවන් කොහොමද කියාත් දැන ගන්න. එවිට අපි එක් එක්කෙනා රිදී එකොළොස් සියයක් බැගින් නුඹට දෙන්නෙමුයයි කීවෝය. දෙලීලා: නුඹේ මහත් ශක්තිය තිබෙන්නේ කොතනද කියාත් පීඩාකරන පිණිස නුඹ බඳින්ට පුළුවන් මොකකින්ද කියාත් මට කියාන්නැයි සම්සොන්ට කීවාය. සම්සොන්ද: නොවේලාපු අලුත් රෑන් සතකින් මා බැන්දොත් මා බෙලහීනව වෙන මනුෂ්‍යයෙකු මෙන් වෙනවා ඇතැයි ඈට කීවේය. එවිට පිලිස්තිවරුන්ගේ අධිපතීහු නොවේලාපු අලුත් රෑන් සතක් ඈට ගෙනක් දුන්නෝය, ඈ එයින් ඔහු බැන්දාය. මනුෂ්‍යයෝ ඈ වෙත ඇතුල්ගෙයි සැඟවී බලාගන සිටියෝය. ඈ වනාහි: සම්සොන්, පිලිස්තිවරු නුඹ අල්ලන්ට එත්යයි ඔහුට කීවාය. එවිට ඔහු හණ නූලක් ගින්නේ තැවරෙන විටම කැඩෙන්නාක් මෙන් ඒ රෑන් කඩාදැමීය. මෙසේ ඔහුගේ ශක්තිය දැනනොගන්නා ලද්දේය. නුඹ මා රවටා බොරු කීවෙහිය, දැන්වත් නුඹ බඳින්ට පුළුවන් මොකකින්ද කියා මට කියන්නැයි දෙලීලා සම්සොන්ට කීවාය. ඔහුද: කිසි වැඩකට පාවිච්චි නොකළ අලුත් කඹවලින් මා බැන්දොත් මා බෙලහීනව වෙන මනුෂ්‍යයෙකු මෙන් වෙනවා ඇතැයි ඈට කීවේය. එබැවින් දෙලීලා අලුත් කඹ ගෙන එයින් ඔහු බැඳ: සම්සොන්, පිලිස්තිවරු නුඹ අල්ලන්ට එත්යයි ඔහුට කීවාය. මනුෂ්‍යයෝද ඇතුල් ගෙයි සැඟවී බලා සිටියෝය. ඔහු ඒවා නූල් පටක් මෙන් තමාගේ අත්වලින් කඩාදැමුවේය. දෙලීලා සම්සොන්ට කථාකොට: නුඹ මේ වන තෙක් මා රවටා මට බොරු කීවෙහිය. ඉතින් නුඹ බඳින්ට පුළුවන් මොකකින්ද කියා මට කියන්නැයි කීවාය. ඔහුද: නුඹ මාගේ හිසේ සැඩපළු සත නූල්වියමනත් සමඟ ගෙතුවොත් පුළුවනැයි ඈට කීවේය. ඈද ඇණයෙන් ඒවා තදකොට: සම්සොන්, පිලිස්තිවරු නුඹ අල්ලන්ට එත්යයි කීවාය. ඔහු නින්දෙන් පිබිද යොත් දණ්ඩේ ඇණය නූල් වියමනත් සමඟ ගළවා දැමුවේය. එවිට ඈ: නුඹේ සිත මා වෙත නැතිකොට නුඹ මට ආදරේය කියා කියන්නේ කොහොමද? නුඹ දැන් තුන්වරක්ම මා රැවටුවෙහිය, නුඹේ මහත් ශක්තිය තිබෙන තැන මට නොකීවෙහියයි ඔහුට කීවාය. ඉන්පසු ඈ සැමදාම ඇගේ වචනවලින් ඔහුට බලකරමින් ඔහු මැරෙන තරම් ඔහුට කරච්චල්කළ කල්හි, ඔහු තමාගේ සිතේ තිබුණු සියල්ල ඈට දැන්වූවාය: මා මව්කුස පටන් දෙවියන්වහන්සේට කැපවූ නාශරියයෙක් බැවින් දැළිපිහියක් මාගේ හිසට ළංනොකරන ලද්දේය. මාගේ හිස බූගෑවොත් මාගේ ශක්තිය මාගෙන් නැතිවී යන්නේය, මාද බෙලහීනව වෙන මනුෂ්‍යයෙකු මෙන් වෙනවා ඇතැයි ඈට කීවාය. ඔහු තමාගේ සිතේ තිබුණු සියල්ල තමාට කී බව දෙලීලා දැන පිලිස්තිවරුන්ගේ අධිපතිවරුන් අඬගස්වමින්: මේ වතාවේ එන්න, මක්නිසාද ඔහු තමාගේ සිතේ තිබෙන සියල්ල මට කියා තිබේයයි දන්වා ඇරියාය. එවිට පිලිස්තිවරුන්ගේ අධිපතීහු තමුන්ගේ අත්වල මුදල් ඇතුව ඈ ළඟට ආවෝය. ඈ තමාගේ උකුළ පිට ඔහු නිදන්ට සලස්වා, මිනිහෙකු කැඳවා, ඔහුගේ හිසේ සැඩපළු සත කපාදමා, ඔහුට පීඩාකරන්ට පටන්ගත්තාය, ඔහුගේ ශක්තියද ඔහුගෙන් පහව ගියේය. ඈද: සම්සොන්, පිලිස්තිවරු නුඹ අල්ලන්ට එත්යයි කීවාය. එවිට ඔහු නින්දෙන් පිබිද, ස්වාමීන්වහන්සේ තමා කෙරෙන් අහක්ව ගිය බව නොදැන, වෙන වතාවලදී මෙන් පිටතට ගොස් බැඳුම්වලින් නිදහස්වන්නෙමියි කීවේය. නුමුත් පිලිස්තිවරු ඔහු අල්ලාගන ඔහුගේ ඇස් උගුලාදමා, ගාසාට ගෙනගොස් ඔහු පිත්තල දම්වැල්වලින් බැන්දෝය; ඔහු හිරගෙයි ඇඹරුවේය.

මෙයට අදාළ වීඩියෝ

විනිශ්චයකාරයන්ගේ පොත 16:1-21 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය