යෙසායා 60
60
ජාතීන් අතරෙහි සියොනේ මතු තේජස
1නැගිට බැබළියන්න, මක්නිසාද නුඹේ ආලෝකය පැමුණුණේය, ස්වාමීන්වහන්සේගේ තේජසද නුඹ කෙරෙහි උදාවිය. 2එසේය, පොළොව අන්ධකාරයෙන්ද ජනයෝ තද අන්ධකාරයෙන්ද වසනු ලබන්නෝය. නුමුත් නුඹ කෙරෙහි ස්වාමීන්වහන්සේ උදාවනසේක, උන්වහන්සේගේ තේජසද නුඹ කෙරෙහි පෙනෙන්නේය. 3ජාතීන් නුඹේ ආලෝකයටද රජවරුන් නුඹේ උදාවීමේ දීප්තියටද එනවා ඇත. 4නුඹේ ඇස් ඔසවා වටකර බලන්න. ඔවුන් සියල්ලෝම රැස්වී නුඹ ළඟට එති. නුඹේ පුත්‍රයන් දුර සිට එනවා ඇත, නුඹේ දූවරුන්ද උකුළේ වඩාගන එන්ට යෙදෙනවා ඇත. 5එකල නුඹ දැක ප්‍රීතිවන්නෙහිය, නුඹේ සිතද පිනාගොස් විශාලවන්නේය; මක්නිසාද මුහුදේ සම්පත් නුඹ වෙත හැරීඑන්නේය, ජාතීන්ගේ වස්තුද නුඹ ළඟට පැමිණෙන්නේය. 6ඔටු සමූහයකින්ද මිදියන් සහ ඒපාහි තරුණ ඔටුවන්ගෙන්ද නුඹේ ස්ථානය පිරෙන්නේය; ෂෙබායෙන් ඔවුන් සියල්ලන් එනවා ඇත. ඔවුන් රන්ද කට්ටකුමංචල්ද ගෙනවුත් ස්වාමීන්වහන්සේගේ ප්‍රශංසා ප්‍රකාශකරනවා ඇත. 7කේදාර්හි සියලු එළු බැටළු රැළවල් නුඹ වෙතට රැස්කරනු ලැබෙත්, නෙබායොත්හි බැටළුවෝ නුඹට සේවයකරත්. උන් මාගේ පූජාසනය පිටට පැමිණ පිළිගනු ලැබෙත්. මමද මාගේ තේජසේ ගෘහය අලංකාරකරන්නෙමි. 8වලාකුළක් මෙන්ද පරෙවියන් උන්ගේ කවුළුවලට ඉගිලෙන්නාක්මෙන්ද අර ඉගිලී එන අය කවුරුද? 9සැබවින් ද්වීපයෝද පළමුකොට තර්ෂිෂ්හි නැව්ද මා ගැන බලාසිටින්නෝය. බලාසිටින්නේ දුරින් නුඹේ පුත්‍රයන්ද ඔවුන් සමඟ ඔවුන්ගේ රන්රිදීද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ නාමයත් ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සෙත් නිසා ගෙනෙන පිණිසය; මක්නිසාද උන්වහන්සේ නුඹට ගෞරවකර තිබේ. 10විදේශීහු නුඹේ පවුරු ගොඩනගන්නෝය, ඔවුන්ගේ රජවරුද නුඹට සේවයකරන්නෝය. මක්නිසාද මම මාගේ උදහසෙන් නුඹට පහරදුන් නුමුත් මාගේ කරුණාවෙන් නුඹට අනුකම්පාකෙළෙමි. 11ජාතීන්ගේ වස්තු නුඹ ළඟට ගෙනෙන පිණිසද ඔවුන්ගේ රජුන් පෙරටුව එන පිණිසද නුඹේ දොරටු රෑ දාවල් නොවසා නිතරම ඇරී තිබේ. 12මක්නිසාද නුඹට සේවය නොකරන ජාතියද රාජ්‍යයද නැතිවන්නේය; එසේය, ඒ ජාතීහු සහමුලින්ම විනාශවන්නෝය. 13මාගේ ශුද්ධස්ථානය අලංකාරකිරීමට ලෙබනොන්හි තේජසද දේවදාර ගස්ද හල් ගස්ද තෂ්ෂුර් ගස්ද එක්ව නුඹ ළඟට පැමිණෙනවා ඇත; මමද මාගේ පාදස්ථානය තේජවත්කරන්නෙමි. 14නුඹට පීඩාකළ අයගේ පුත්‍රයන්ද නැමි නැමී නුඹ වෙතට එනවා ඇත; නුඹව සුළුකළ සියල්ලන්ද නුඹේ පාමුල වැඳවැටෙනවා ඇත; ඔවුන් නුඹට: ස්වාමීන්වහන්සේගේ නුවරය කියාත් ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේගේ සියොන්ය කියාත් කියනවා ඇත. 15කිසිවෙක් නුඹ ළඟින් නොයන ලෙස නුඹ අත්හරිනු ලැබ වෛරය විඳිනවා වෙනුවට, මම නුඹ සදාකාල උතුම්කමක්ද පරම්පරාවෙන් පරම්පරාවට ප්‍රීතියක්ද කරන්නෙමි. 16නුඹ ජාතීන්ගේ කිරි උරා බොන්නෙහිය, රජුන්ගේ තන උරන්නෙහිය. ස්වාමීන්වහන්සේ වන මම නුඹේ ගැළවුම්කාරයා බවත් නුඹේ මිදුම්කාරයා යාකොබ්ගේ බලවන්තයාණන්වහන්සේ බවත් නුඹ දැනගන්නවා ඇත. 17මම පිත්තල වෙනුවට රත්රන් ගෙනෙන්නෙමි, යකඩ වෙනුවට රිදීද ලී වෙනුවට පිත්තලද ගල් වෙනුවට යකඩද ගෙනෙන්නෙමි. මම නුඹේ මුලාදෑනීන් සමාදානයද නුඹේ ආණ්ඩුකාරයන් ධර්මිෂ්ඨකමද වෙන්ට සලස්වන්නෙමි. 18නුඹේ දේශයෙහි බලාත්කාරයද නුඹේ සීමා ඇතුළේ නාස්තිය හා විනාශයද ගැන තවත් අසන්ට නොලැබෙන්නේය; නුඹේ පවුරු ගැළවීමය කියාද නුඹේ දොරටු ප්‍රශංසාවය කියාද නුඹ කියන්නෙහිය. 19ඉර තවත් නුඹේ දවාලේ එළිය නොවන්නේය; දීප්තිය පිණිස සඳද නුඹට එළිය නොදෙන්නේය. නුමුත් ස්වාමීන්වහන්සේ නුඹට සදාකාල එළියක්ද නුඹේ දෙවියන්වහන්සේ නුඹේ තේජසද වනසේක. 20නුඹේ ඉර තවත් බැසයන්නේවත්, නුඹේ සඳ පහව යන්නේවත් නැත. මක්නිසාද ස්වාමීන්වහන්සේ නුඹේ සදාකාල එළිය වනසේක, නුඹේ වැලපීමේ දවස් කෙළවරවන්නේය. 21නුඹේ සෙනඟ සියල්ලෝම ධර්මිෂ්ඨව, මා විසින් සිටෙවු පැළයක්ව, මාගේ අත්වල කර්මාන්තයව සිට මා ගෞරවය ලබන පිණිස සදාකාලේටම පොළොව භුක්තිවිඳින්නෝය. 22කුඩා තැනැත්තා දහසක්ද සුළු තැනැත්තා බලවත් ජාතියක්ද වන්නේය. ස්වාමිවූ මම ඒකේ නියම කලට ඒක ඉක්මන් කරන්නෙමි.
දැනට තෝරාගෙන ඇත:
යෙසායා 60: SROV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Ceylon Bible Society