හොසියා 2:14-23

හොසියා 2:14-23 SROV

එබැවින් මම ඈ කැමැතිකරවාගෙන, ඈ කාන්තාරයට පමුණුවා, ඈට කරුණාවෙන් කථාකරන්නෙමි. එතැන් පටන් ඇගේ මිදිවතුද පැතීමේ දොරක් පිණිස ආකොර් මිටියාවතද ඈට දෙන්නෙමි. එහි ඇගේ යෞවන දවස්වලදී මෙන්ද ඈ මිසර දේශයේ සිට ආ කාලයේදී මෙන්ද ඈ උත්තරදෙනවා ඇත. ඒ කාලයේදී බාලී කියා නුඹ තවත් මට නොකියා, ඉෂීයයි කියනවා ඇතැයි ස්වාමීන්වහන්සේ කියනසේක. මක්නිසාද මම බාල් දේවතාවුන්ගේ නාම ඇගේ කටින් පහකර දමන්නෙමි, ඒ දේවතාවෝ ඔවුන්ගේ නාමයෙන් තවත් කියනු නොලබන්නෝය. ඒ කාලයේදී මම ඔවුන් උදෙසා වනයේ මෘගයන්ද ආකාශයේ පක්ෂීන්ද භූමියේ බඩගායන සතුන්ද සමඟ ගිවිසුමක් කරන්නෙමි. දුන්නද කඩුවද යුද්ධයද දේශයෙන් නැතිකරදමා, ඔවුන් සුවසේ සැතපෙන්ට සලස්වන්නෙමි. මම නුඹ සදාකාලේටම පාවාගන්නෙමි; එසේය, ධර්මිෂ්ඨකමද විනිශ්චයද කරුණාවද අනුකම්පාවද ඇතුව නුඹ පාවාගන්නෙමි. විශ්වාසකමින් නුඹ පාවාගන්නෙමි. නුඹ ස්වාමීන්වහන්සේ ඇඳිනගන්නෙහිය. ඒ කාලයේදී මම උත්තරදෙන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක. අහසට උත්තරදෙන්නෙමි, අහස පොළොවට උත්තරදෙන්නේය; පොළොව ධාන්‍යවලටත් මිදියුසයටත් තෙල්වලටත් උත්තරදෙනවා ඇත; ඒවාද යෙස්‍රෙයෙල්ට උත්තරදෙනවා ඇත. මම ඈ දේශයෙහි මට වපුරාගන, කරුණාව නොලත් ඇත්තීට අනුකම්පාකරන්නෙමි; මාගේ සෙනඟ නොවූවන්ට: නුඹ මාගේ සෙනඟයයි කියන්නෙමි; ඒ අයද: ඔබ මාගේ දෙවියන්වහන්සේයයි කියනවා ඇත.

මෙයට අදාළ වීඩියෝ