උත්පත්ති 40:7-22

උත්පත්ති 40:7-22 SROV

නුඹලා අද මලානිකව සිටින්නේ මක්නිසාදැයි ස්වකීය ස්වාමියාගේ ගෙයි තමා සමඟ හිරේ සිටි ඵාරාවෝගේ ඒ ඇමතියන්ගෙන් ඔහු ඇසුවේය. ඔව්හුද: අපි හීනයක් දුටිමුව, ඒකේ තේරුම කියාදෙන්ට පුළුවන් කෙනෙක් නැත්තේයයි ඔහුට කීවෝය. තේරුම කියාදීම දෙවියන්වහන්සේට අයිති නොවේද? එය මට කියන්නැයි යෝසෙප් ඔවුන්ට කීවේය. එවිට කුසලාන දරන්නන්ගේ නායකයා තමාගේ හීනය යෝසෙප්ට කියනුයේ: බලව, හීනෙන් මුද්‍රික වැලක් මා ඉදිරියෙහි තිබුණේය. ඒ මුද්‍රික වැලේ අතු තුනක් තිබුණේය. ඒක දළු දමා එහි මල් අටගත්තාක් මෙන්ද විය; එහි වලුවල ඉදුණු මිදි පල තිබුණේය. ඵාරාවෝගේ කුසලාන මා අතෙහි තිබුණේය; මම මුද්‍රික ඵල රැගෙන ඵාරාවෝගේ කුසලානට මිරිකා ඒ කුසලාන ඵාරාවෝ අතට දුනිමියි කීවේය. යෝසෙප් ඔහුට කියනුයේ: එහි අර්ථය මේය. අතු තුන නම් තුන් දවසක්ය; තව තුන් දවසක් ඇතුළතදී ඵාරාවෝ නුඹේ හිස ඔසවා නුඹේ නිලයට නැවත නුඹ පමුණුවන්නේය. නුඹ ඵාරාවෝගේ කුසලාන දරන්නාව සිටියදී පළමුවෙන් කළ ලෙස ඔහුගේ කුසලාන ඔහු අතට දෙන්නෙහිය, ඉතින් නුඹට ශුභසිද්ධවූ කල්හි මා සිහිකොට, මට කරුණාව පෙන්වා, ඵාරාවෝට මා ගැන සඳහන්කර, මේ ගෙයින් මා නිදහස්කරවන ලෙස ඉල්ලමි. මක්නිසාද සැබවින් මම හෙබ්‍රෙව්වරුන්ගේ දේශයෙන් සොරකම් කරනු ලැබීමි. මෙහිදීත් මම ඇඳිරිගෙයි දමනු ලැබීමට කිසිවක් නොකෙළෙමියි කීය. පූප සාදන්නන්ගේ නායකයා ඒ අර්ථ කීම යහපත් බව දැක යෝසෙප්ට කියනුයේ: මමත් හීනයක් දුටිමි, බලව, මාගේ හිස පිට සුදු රොටි පෙට්ටි තුනක් තිබුණේය. ඉහළම පෙට්ටියේ ඵාරාවෝට සාදනලද සියලු ආකාර පූප තිබුණේය; පක්ෂීහු මාගේ හිස පිට තිබුණු පෙට්ටියෙන් ඒවා කෑවෝයයි කීවේය. යෝසෙප් උත්තරදෙමින්: ඒකේ අර්ථය මෙසේය. පෙට්ටි තුන නම් තුන් දවසක්ය; තව තුන් දවසක් ඇතුළතදී ඵාරාවෝ නුඹේ හිස නුඹ කෙරෙන් ඔසවා නුඹ ගසක එල්වන්නේය; පක්ෂීහු නුඹේ මාංස කඩා කන්නෝයයි කීය. තවද තුන්වෙනි දිනවූ ඵාරාවෝ උපන් දවසේදී ඔහු තමාගේ සියලු මෙහෙකරුවන්ට මංගල්‍ය කෑමක් පිළියෙළකෙළේය. යෝසෙප් ඔවුන්ට තේරුම කියාදුන් ලෙස ඔහු කුසලාන දරන්නන්ගේ නායකයාගේ හිසද පූප සාදන්නන්ගේ නායකයාගේ හිසද තමාගේ සේවකයන් අතරෙහි එසවූයේය. කුසලාන දරන්නන්ගේ නායකයා ඔහුගේ නිලයට නැවත පැමිණවිය; ඔහු ඵාරාවෝගේ අතට කුසලාන දුන්නේය. එහෙත් ඔහු පූප සාදන්නන්ගේ නායකයා එල්ලා දැමීය.