උත්පත්ති 37:26-36
උත්පත්ති 37:26-36 SROV
එවිට යූදා තම සහෝදරයන්ට කථාකොට: අපගේ සහෝදරයා මරා ඔහුගේ ලේ සැඟවීමෙන් කවර ප්‍රයෝජනයක්ද? එන්න, අර ඉෂ්මායෙල්වරුන්ට ඔහු විකුණමු, අපගේ අත ඔහු පිට නොපැමිණේවා; කුමක්හෙයින්ද ඔහු අපගේ සහෝදරයාත් අපගේ මාංසයත්යයි කීවේය. ඔහුගේ සහෝදරයෝ ඊට එකඟවුණෝය. මිදියන් වෙළෙන්දන් ඒ ළඟින් යන කල ඔව්හු යෝසෙප් වළෙන් ඇද ගොඩට ගෙන ඉෂ්මායෙල්වරුන්ට රිදී විස්සකට වික්කෝය. ඔව්හු යෝසෙප් මිසරයට ගෙනගියෝය. රූබෙන් වළ ළඟට හැරී ආයේය; ඔහු යෝසෙප් වළේ නැති බව දැක තමාගේ වස්ත්‍ර ඉරාගෙන තමාගේ සහෝදරයන් ළඟට හැරීගොස්: ළමයා නැත; අනේ මම කොතැනට යම්දැයි කීය. ඔව්හු යෝසෙප්ගේ සළුව ගෙන, එළුවෙකු මරා සළුව ලෙයෙහි ගල්වා, අත් ඇති ඒ දිග වස්ත්‍රය තමන් පියා ළඟට යවමින්: මේක අපට සම්බවුණේය; මේක ඔබගේ පුත්‍රයාගේ සළුවද නැද්දැයි බැලුව මැනවැයි කීවෝය. ඔහු ඒක හැඳින: මේ මාගේ පුත්‍රයාගේ සළුවය; චණ්ඩ මෘගයෙක් ඔහු කාදමා තිබේ; යෝසෙප් ඉරාදමනු ලැබුවාට අනුමාන නැතැයි කීවේය. තවද යාකොබ් තමාගේ වස්ත්‍ර ඉරාගන, ගෝණි රෙදි තමාගේ ඉණේ බැඳගන, තමාගේ පුත්‍රයා නිසා බොහෝ දවස් වැලපුණේය. ඔහුගේ සියලු පුත්‍රයෝද දූවරුද ඔහු සනසන්ට ආවෝය; එහෙත් ඔහු සැනසෙන්ට නොකැමති වී: මම වැලපෙමින් මාගේ පුත්‍රයා වෙතට මිනීවළට යන්නෙමියි කීවේය. මෙසේ ඔහුගේ පියා ඔහු නිසා හැඬුවේය. මිදියන්වරු ඔහු මිසරයේදී ඵාරාවෝගේ ඇමතියෙක්ද රැකවලුන්ගේ නායකද වූ පෝතිඵර්ට වික්කෝය.

