උත්පත්ති 37:18-30
උත්පත්ති 37:18-30 SROV
ඔව්හු දුරදීම ඔහු දැක ඔහු මරණ පිණිස ඔහු ළඟට එන්ට මත්තෙන් මන්ත්‍රණය කරගත්තෝය. ඔව්හු ඔවුනොවුන්ට කථාකොට: අන්න ස්වප්නකාරයා එන්නේය. දැන් එන්න, ඔහු මරා වළක දමා චණ්ඩ මෘගයෙක් ඔහු කෑවේයයි කියමුව. එවිට ඔහුගේ ස්වප්නවලට කුමක් වන්නේදැයි බලමුයයි කීවෝය. රූබෙන් ඒ අසා ඔවුන් අතින් ඔහු මුදා: අපි ඔහුගේ ප්‍රාණය හානි නොකරමුයයි කීය. රූබෙන් ඔහු ඔවුන්ගේ අත්වලින් මුදා ඔහුගේ පියාට නැවත භාරදෙන අදහසින් ඔවුන්ට කථාකොට: ලේ නොවගුරුවා වනයෙහි තිබෙන මේ වළේ ඔහු දමන්න; එහෙත් ඔහු පිට අත් හෙළන්ට එපායයි කීය. යෝසෙප් තමාගේ සහෝදරයන් වෙතට ආකල ඔවුන් යෝසෙප්ගේ සළුව, එනම් ඔහු ඇඳලා තිබුණු අත් ඇති දිග වස්ත්‍රය ගළවාගෙන ඔහු අරන් වළේ දැමුවෝය. ඒ වළ වතුර නැතුව හිස්ව තිබුණේය. ඔව්හු කෑම කන පිණිස හිඳ තමන් ඇස් ඔසවා බැලූ විට, සුගන්ධ ද්‍රව්‍යද ගුගුල්ද සුවඳලාටුද ඔටුවන් පිට පටවා, ඒවා මිසරයට ගෙනයන පිණිස ගමන්කරන්නාවූ ඉෂ්මායෙල්වරුන් කණ්ඩායමක් ගිලියාද්හි සිට එනවා දුටුවෝය. එවිට යූදා තම සහෝදරයන්ට කථාකොට: අපගේ සහෝදරයා මරා ඔහුගේ ලේ සැඟවීමෙන් කවර ප්‍රයෝජනයක්ද? එන්න, අර ඉෂ්මායෙල්වරුන්ට ඔහු විකුණමු, අපගේ අත ඔහු පිට නොපැමිණේවා; කුමක්හෙයින්ද ඔහු අපගේ සහෝදරයාත් අපගේ මාංසයත්යයි කීවේය. ඔහුගේ සහෝදරයෝ ඊට එකඟවුණෝය. මිදියන් වෙළෙන්දන් ඒ ළඟින් යන කල ඔව්හු යෝසෙප් වළෙන් ඇද ගොඩට ගෙන ඉෂ්මායෙල්වරුන්ට රිදී විස්සකට වික්කෝය. ඔව්හු යෝසෙප් මිසරයට ගෙනගියෝය. රූබෙන් වළ ළඟට හැරී ආයේය; ඔහු යෝසෙප් වළේ නැති බව දැක තමාගේ වස්ත්‍ර ඉරාගෙන තමාගේ සහෝදරයන් ළඟට හැරීගොස්: ළමයා නැත; අනේ මම කොතැනට යම්දැයි කීය.

