උත්පත්ති 34:24-31

උත්පත්ති 34:24-31 SROV

හාමොර්ගේ නුවර දොරටුවෙන් පිටතට ගිය සියල්ලෝ ඔහුටත් ඔහුගේ පුත්‍රවූ ෂෙඛෙම්ටත් කන්දුන්නෝය; ඔහුගේ නුවර දොරටුවෙන් පිටතට ගිය සියලු පිරිමි චර්මඡේද්‍යය කරනු ලැබුවෝය. තවද තුන්වෙනි දින ඔවුන් ගායව සිටි කල්හි යාකොබ්ගේ පුත්‍රයන්ගෙන් දෙදෙනෙක් වූ දීනාගේ සහෝදරයෝ වූ සිමියොන්ද ලෙවීද තමුන්ගේ කඩු රැගෙන හදිසියෙන් නුවරට වැද සියලු පිරිමින් මැරුවාහ. ඔව්හු හාමොර්ද ඔහුගේ පුත්‍රවූ ෂෙඛෙම්ද කඩු මුවහතින් මරා ෂෙඛෙම්ගේ ගෙයින් දීනා රැගෙන නික්ම ගියෝය. යාකොබ්ගේ පුත්‍රයෝ මරනු ලැබූවන් කරා අවුත් ඔවුන් තමුන්ගේ සහෝදරීට අවනම්බුකළ බැවින් නුවර කොල්ලකෑවෝය. ඔව්හු ඔවුන්ගේ එළු බැටළු රැළවල්ද ගව රැළවල්ද කොටළුවන්ද නුවර තිබුණු දේද කෙතෙහි තිබුණු දේද ඔවුන්ගේ සියලු වස්තුවද ගෙන, ඔවුන්ගේ සියලු දරුවන්ද භාර්යාවන්ද අල්ලාගෙන, ගෙවල තිබුණු සියලු දේද කොල්ලකා ගත්තෝය. එවිට යාකොබ් සිමියොන්ටත් ලෙවීටත් කථාකොට: දේශයේ වැසියන්වූ කානානිවරුන් සහ පෙරිස්සිවරුන් විසින් මා නුරුස්සනු ලබන්ට සැලැස්වීමෙන් නුඹලා මා හිරිහැරයට පත්කළහුය. ගණනින් ස්වල්පවූ මට විරුද්ධව ඔවුන් රැස්ව මට පහරදෙනවා ඇත; මා හා මාගේ පවුල විනාශවන්නේයයි කීය. වේශ්‍යාවකුට මෙන් අපගේ සහෝදරීට ක්‍රියාකරන්ට ඔහුට යුතුදැයි ඔව්හු කීවෝය.