උත්පත්ති 28:16-22

උත්පත්ති 28:16-22 SROV

යාකොබ් තමාගේ නින්දෙන් පිබිද: ඒකාන්තයෙන්ම ස්වාමීන්වහන්සේ මෙතැන සිටිනසේක; මම ඒ බව නොදත්තෙමියි කියා භයවී: මේක කොපමණ භයානක ස්ථානයක්ද! ඒකාන්තයෙන්ම මේක දෙවියන්වහන්සේගේ ගෘහයය, මේක ස්වර්ගයේ දොරටුවයයි කීවේය. යාකොබ් අලුයම නැගිට තමාගේ හිසට තබනලද ගල රැගෙන කණුවක් කොට සිටුවා එහි මුදුනේ තෙල් වත්කොට, ඒ ස්ථානයට බෙතෙල්යයි නම් තැබීය. එහෙත් පළමුවෙන් ඒ නුවර නම ලූස්ය. යාකොබ් භාරයක් වී: මාගේ පියාණන්ගේ ගෙට නැවත සමාදානයෙන් එන පිණිස දෙවියන්වහන්සේ මා සමඟ සිට මා යන මේ මාර්ගයෙහි මා ආරක්ෂාකොට මට කන්ට භෝජනද අඳින්ට වස්ත්‍රද දෙනසේක් නම්, ස්වාමීන්වහන්සේ මාගේ දෙවියන්වහන්සේ වනසේක, කණුවක්කොට මා සිටෙවූ මේ ගල දෙවියන්වහන්සේගේ ගෘහය වන්නේය. ඔබවහන්සේ මට දෙන සියල්ලෙන්ම දසයෙන් කොටසක් සැබවින්ම ඔබට දෙන්නෙමියි කීවේය.